Thursday 6 December 2018

යූටියුබ් තරු: වැඩිම ආදායම්ලාභියාට වයස අවුරුදු හතයි


සෙල්ලම් බඩු පිළිබඳ විචාර ඉදිරිපත් කරන අවුරුදු හතක් වයසැති දරුවෙකු යූටියුබ්හි වැඩිම ආදායම්ලාභියා බවට පත් වී තිබේ. ඔහුගේ මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 22කි.

ෆෝබ්ස් සඟරාවට අනුව, තවත් සුප්‍රසිද්ධ යූටියුබ් තරුවක් වන ජේක් පෝල්ගේ ආදායම අභිබවා යෑමට රයන් නැමැති මෙම දරුවාගේ Ryan ToysReview නම් යූටියුබ් නාලිකාව සමත් වී ඇත. ජූනි දක්වා මාස දොළහක් ඇතුළත ජේක්ට වඩා ඩොලර් ලක්ෂ පහක ආදායමක් රයන් උපයා තිබේ.

රයන්ගේ නාලිකාව ඔස්සේ බොහෝ දිනවල වීඩියෝ පළ කරන අතර, පසුගිය ඉරිදා (දෙසැම්බර් 2) ඔහුගේ ඡායාරූපයක් ඇතුළත් කර ඇති blue giant mystery egg නම් සෙල්ලම් භාණ්ඩය පිළිබඳ වීඩියෝව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් නරඹා තිබේ.

ඩොලර් මිලියන 20ක ආදායමක් ලබන Dude Perfect නම් යූටියුබ් නාලිකාව තෙවන ස්ථානයට පත්ව ඇත.

බදු සහ නීතීඥ ගාස්තු ගෙවීමෙන් පසු රයන් උපයා ඇති මුදල මෙහි සඳහන් වී ඇති අතර, එය පසුගිය වසර සමග සංසන්දනය කිරීමේ දී දෙගුණයක වැඩි වීමකි.

රයන්ගේ වීඩියෝ නැරඹීමට දරුවන් මේ තරම් කැමැත්තක් දක්වන්නේ ඇයිදැයි NBC මාධ්‍ය ආයතනය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ "මට අනිත් අය සතුටු කරන්න පුළුවන් ඒ වගේම මම විනෝදජනකයි," යනුවෙනි.

2015 දී රයන්ගේ දෙමාපියන් ආරම්භ කළ මෙම යූටියුබ් නාලිකාව මේ වන විට බිලියන 26ක් නරඹා ඇති අතර, නිත්‍ය ග්‍රාහක පිරිස මිලියන 17.3 කි.

ෆෝබ්ස් සඟරාවට අනුව, රයන්ගේ ඩොලර් මිලියන 22ක ආදායමෙන් මිලියනයක් උපයාගෙන ඇත්තේ වීඩියෝවට පෙර විකාශනය කෙරෙන වෙළෙඳ දැන්වීම්වලිනි. ඉතිරිය මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම්වලින් උපයාගෙන ඇත.



යූටියුබ් හරහා ප්‍රසිද්ධ වූ වෙනත් පුද්ගලයන්ට සාපේක්ෂව, මුදල් ගෙවා ප්‍රචාරය කරන වෙළෙඳ දැන්වීම්වලින් රයන් ලබන ආදායම ඉතා අවම මට්ටමක පවතින බව ෆෝබ්ස් සඟරාවේ සඳහන් වේ.

"මෙයට හේතුව රයන්, නැත්නම් ඔහුගේ පවුලේ අය තෝරා ගත් වෙළෙඳ දැන්වීම් පමණක් ප්‍රචාරය කිරීම සහ ඔහුට සිටින රසිකයන්ගේ කැමැත්තයි."

රයන්ගේ නාලිකාවේ ප්‍රචාරය කරන සෙල්ලම් භාණ්ඩයක් වෙළෙඳපොලේ ඉතා කෙටි කලක් තුළ විකිණී අවසන් වේ.

මේ තොරතුරුද දැනගන්න:

"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද?
'යූටියුබ්' මූලස්ථානය ප්‍රහාරයකට ලක්වූයේ ඇයි?
යූටියුබ් කළඹන පෝල් සහෝදරයෝ
වෝල්මාට් සුපිරි වෙළෙඳසල 'රයන්ගේ ලෝකය (Ryan's World)' නමින් විවිධ සෙල්ලම් බඩු සහ ඇඳුම් හඳුන්වා දී තිබේ. රයන් සහ ඔහුගේ දෙමාපියන් තමන්ගේ නමින් ඇති සෙල්ලම් බඩු සොයන වීඩියෝවක් මාස තුනක් ඇතුළත මිලියන 14ක් නරඹා තිබිණි.

සිය නමින් ඇති මෙම භාණ්ඩවලින් ලැබෙන මුදලත් සමග ලබන වසර වන විට රයන්ගේ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත.

රයන් තවමත් කුඩා දරුවෙකු නිසා ඔහුගේ ආදායමෙන් 15%ක් බැංකු ගිණුමක තැන්පත් කරන අතර, ඔහු වැඩිහිටියෙකු බවට පත් වූ විට එම මුදල ලබා ගත හැකිය.

රයන්ගේ නිවුන් සහෝදරිය ද සමහර වීඩියෝවල රඟපාන්නීය. Ryan's Family Review නම් රයන්ගේ තවත් යූටියුබ් නාලිකාවකට පවුලේ සියලුදෙනා සම්බන්ධ වී සිටිති.

"කුඩා දරුවන්ට නිවස තුළදීම සිදු කළ හැකි විද්‍යාත්මක අත්හදාබැලීම් 10ක්" නම් වීඩියෝවේ පවුලේ දරුවන් තිදෙනාම පෙනී සිටි අතර, එය මිලියන 26ක් නරඹා තිබේ.

ඩොලර් මිලියන 16.5ක් උපයා 2017 වසරේ දී යූටියුබ් වැඩිම ආදායම්ලාභියා බවට පත් වූ ඩැනියෙල් මිඩ්ල්ටන් මෙම වසරේ දී හතරවන ස්ථානයට පත් වී තිබේ.

පසුගිය වසරේ අටවන ස්ථානයේ සිටි ජේක් පෝල් මෙවර දෙවන ස්ථානයට පත් වී ඇති අතර, ඩොලර් මිලියන 14.5ක් උපයා ඇති ඔහුගේ සොහොයුරා වන ලෝගන් පෝල් 10වන ස්ථානයේ සිටී. ලෝගන්ගේ ආදායම පෙර වසරට වඩා ඩොලර් මිලියන තුනකින් වැඩි වී තිබේ.

පසුගිය ජනවාරි මස ලෝගන් පෝල් ඔහුගේ එක් වීඩියෝවකින් ජපානයේ සිය දිවිනසා ගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් පෙන්වීම නිසා දැඩි විවේචනයට ලක් විය. නමුත්, පසුව ඔහු ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය.
Share:

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය දීර්ඝ කෙරේ


පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු නියෝගය දෙසැම්බර් 08 වෙනි දින දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 06) නියෝග කළේය.

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ලෙස ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය සිකුරාදා (දෙසැම්බර් 07) දක්වා කල් තැබීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අගවිනිසුරු නලීන් පෙරේරා මෙම පෙත්සම විභාග කරන සත් පුද්ගල විනිසුරු මඬුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර බුවනෙක අළුවිහාරේ, ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු එහි සෙසු සාමාජිකයෝය.

අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු බ්‍රහස්පතින්දා පෙරවරුවේ විනිසුරු මඬුල්ල හමුවේ තවදුරටත් කරුණු දැක්වූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජීඑල් පීරිස් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අදහස් දක්වමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 (2) වගන්තිය යටතේ පාර්ලිමේන්තු නිල කාලය සම්පූර්ණ වීමට ප්‍රථම ජනාධිපතිවරයාට එය විසුරුවා හැරීමට තිබෙන බලතල පිළිබඳව තවදුරටත් කරුණු ඉදිරිපත් කළේය.

1978 වසරෙන් පසුව පත්වූ එක් පාර්ලිමේන්තුවක් හැර අනෙකුත් පාර්ලිමේන්තු සියල්ල එහි නිල කාලය අවසන් වීමට ප්‍රථම විසුරුවා හැරීමට ජනාධිපතිවරුන්ට බලය පැවරුණේ මෙම 62 (2 ) වගන්තිය යටතේ බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, තවදුරටත් කියා සිටියේ ඒ බව තහවුරු කෙරෙන ප්‍රතිපාදන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තිය තුළ අන්තර්ගතව තිබෙන බවය.


අතරමැදි පෙත්සම්කරුවකු වන අමාත්‍ය උදය ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභ කළ යුතු බවය.

සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති අතර, එම පෙත්සම් විභාග කිරීම සඳහා අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති යැයි හැඟී යන අවස්ථාවක එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය හිමිවී තිබෙන බව ද ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.

අතරමැදි පෙත්සම්කරුවකු වන ජගත් වැල්ලවත්ත වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි කරුණු දක්වමින් කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) (c) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අමතර බලයක් හිමි වී තිබෙන බවය.

ඒ අනුව මෙම විසුරුවා හැරීම අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ තර්කය විය.

අග්‍රාමාත්‍යවරයා විධායක බලතල තමන් සතුව ඇතැයි සිතා කටයුතු කිරීම සහ ජනාධිපතිවරයා විධායක බලය අත්හැර දමා කටයුතු කිරීම නිසාත් ඇති වූ අර්බුදය දැන අධිකරණය දක්වා පැමිණ ඇති බව සඳහන් කළ ඔහු, මෙය ජනතා පරමාධිපත්‍යය පිළිබඳ ගැටලුවක් බැවින් එය ජනතාව හමුවට ගොස් විසඳා ගැනීම වඩාත් යෝග්‍ය බවත් කියා සිටියේය.

අතරමැදි පෙස්සම්කරුවකු වන ආචාර්ය චන්න ජයසුමන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන කරුණු දක්වමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ( 2) (c) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය විවාදයකින් තොරව පිළිගත යුතු බව කියා සිටියේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 33 (2) (c) සහ 62 (2) ජනාධිපතිවරයාට බලය පවරා දී ඇති අතර එම වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනත් කිසිදු වගන්තියකින් සීමාකිරීම්වලට ලක් කර නොමැති බවට ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන තර්ක කළේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13ක් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.


ඒ අනුව පළමු දිනයේ අධිකරණය හමුවේ කරුණු දැක්වූ දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඊ කණගීස්වරන් සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවස්ථා දෙකක් පමණක් සලසා දී ඇති බවය.


  1. පාර්ලිමේන්තුවක නිල කාලය ආරම්භ වී වසර හතරහමාරක් ගෙවුණු පසු
  2. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් යෝජනාවක් සම්මත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවක

එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරී තිබෙන බවද එම නීතිඥවරු පෙන්වා දුන්හ.

එහෙත්, මෙම නඩුවට පාදක වී තිබෙන විසුරුවාහැරීම, මෙම ප්‍රතිපාදන දෙකටම අදාළ නොවන බව පෙන්වා දෙන ඊ කණගීස්වරන් සහ තිලක් මාරපන ජනාධිපති නීතිඥවරුන් දෙදෙනා, එම විසුරුවා හැරීම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බව කියා සිටියහ.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජේසී වැලිඅමුණ කරුණු දක්වමින් කියා සිටියේ, ප්‍රශ්නගත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වෙනි සංශෝධනයේ ප්‍රතිපාදනවලට සම්පූර්ණයෙන්ම පටහැනි බවය.

මෙම විසුරුවාහැරීම සාධාරණීකරණය කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබුන ද එහි අන්තර්ගත කරුණු පිළිගත නොහැකි බව ද ජනාධිපති නීතිඥ වැලිඅමුණ අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
Share:

Followers