Sunday 20 January 2019

තිදරු පියෙකු වෙඩිතබා මරා වළ දැමුවැයි විහාරාධිපති හිමිනමක් ඇතුළු තිදෙනෙක් රිමාන්ඞ්

හබරණ පලූගස්වැව උල්පතගම ප‍්‍රදේශයේදී 31 හැවිරිදි තිදරු පියෙකු වෙඩි තබා ඝාතනය කර අභිරහස් ලෙස වළ දමා තිබූ සිද්ධියක් සම්බන්ධයෙන් මෙරට සාදන ලද තුවක්කුවක් සමග හබරණ පොලිසිය මගින්
අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ හබරණ පලූගස්වැව ප‍්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක විහාරාධිපති හිමිනම ඇතුළු සැකකරුවන් තිදෙනා මේ මස 31 වැනි දින දක්වා රිමාන්ඞ් බන්ධනාගාර ගත කරන ලෙස කැකිරාව වැඩබලන මහෙස්ත‍්‍රාත් අනුරුද්ධ විජේරත්න මහතා පෙරේදා (19) නියෝග කළේය.


 මෙසේ රිමාන්ඩ් බාරයට පත්කරන ලද්දේ හබරණ පලූගස්වැව උල්පතගම උත්තරාරාම විහාරස්ථානයේ විහාරාධිපති මහසෙන්ගම සුමනරතන, සේනාදිරියාගම බී.එම්. නිමල් බණ්ඩාර, උල්පතගම එච්. ඒ. ජයරත්න යන තිදෙනාය.

 උල්පතගම පදිංචි 31 හැවිරිදි තිදරු පියෙකු වන අප්පුගේ සුරේෂ් රවීන්ද්‍ර කුමාර යන අය 2019.01. 17 දින හෝ ඊට ආසන්න දිනයකදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් හබරණ පොලිසිය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

 මරණකරු 2019.01.17 දින රාත‍්‍රී උල්පතගම ප‍්‍රදේශයේ පිහිටි තම හේනට පැල් රැකීම සඳහා ගොස් ආපසු නිවෙසට නොපැමිණි බවට ඔහුගේ බිරිය විසින් හබරණ පොලිසියට කරණ ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කටයුතු සිදුකිරීමේදී මරණකරුගේ හේන අසල පිහිටි කැලෑවක අභිරහස් ලෙස ඝාතනය කර වළ දමා තිබූ මළ සිරුර පෙරේදා (19) සොයා ගැනීමට හැකිවූ බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

 ඒ අනුව කැකිරාව වැඩබලන මහෙස්ත‍්‍රාත් අනුරුද්ධ විජේරත්න මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මූලික මහෙස්ත‍්‍රාත් පරීක්ෂණය පෙරේදා (19) පවත්වනු ලැබූ අතර මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසට මඩකලපුව මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට නියෝග කළේය.

 හබරණ පොලිසිය මේ පිළබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.


Share:

නයිනමඩමේ කාර් මාලු ලොරි අනතුරින් 6 දෙනෙක් මියයති - වාහනයේ පිස්තෝලයක්


අද(20) අළුයම 3.15ට පමණ කොළඹ හලාවත මාර්ගයේ වෙන්නප්පුව , නයිනමඩම පාලම අසලදී හලාවත දෙසට ධාවනය වූ කාර් රථයක් ඉදිරියෙන් එම දිශාවටම ධාවනය වූ මාළු ලොරියක පිටුපස ගැටී අනතුරක් සිදුවූ අතර අනතුරින් කාර් රථයේ රියදුරු ඇතුළු ගමන්කළ පිරිමි පුද්ගලයින් 09 දෙනෙකු
බරපතල තුවාල ලබා මීගමුව සහ මාරවිල රෝහල් වෙත ඇතුලත් කිරීමෙන් පසු 06 දෙනෙකු මියගොස් තිබේ.


 තුවාලකරුවන් දෙදෙනෙකු මීගමුව රෝහලේ සහ එක් අයකු කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.
මෘත ශරීර 04ක් මාරවිල රෝහලේද 02ක් මීගමුව රෝහලේද තැන්පත් කර තිබේ.
 අනතුරට ලක්වූ මෝටර් රථය කවර කාරනාවක් නිසා මේ ආකාරයට ගමන් කලේද යන්න ගැන ගැටලු සහගත තත්වයක් මේවනවිට පැනනැගී ඇති අතර වාහනය තුළ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් පොලිසිය විසින් සොයාගෙන තිබීම නිසා මේ ගැන සැකයක් ඇතිව තිබේ.
 මිලි මීටර් 8 ප්‍රමාණයේ උණ්ඩ දැමිය හැකි පිස්තෝලයක් හමුවූ බවත් ඉතාලියේ නිෂ්පාදිත මෙම පිස්තෝලයේ තුළ තිබී ජීව උණ්ඩ 08 ක්ද හමුවී ඇති බව පොලිසිය කියයි.
එම රිය අනතුරින් මියගිය පුද්ගලයන් 6දෙනා වෙන්නප්පුව ප්‍රදේශයේම පදිංචිකරුවන් පිරිසක් බවද හෙලිව ඇත. දිවි බේරාගත් අය පොලිසියට පවසා ඇත්තේ මංගල උත්සවයකට සහභාගී වී නැවත එමින් සිටියදී අනතුර සිදුවූ බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වෙන්නප්පුව උල්හිටියාව ප‍්‍රදේශයේ පදිංචි ව්‍යපාරිකයෙකු වන ප‍්‍රදීප් ලෝවු (40), සුරංග සම්පත් ,  එම් බණ්ඩාර , සංජීව ප‍්‍රනාන්දු , ජනිත් ප‍්‍රනාන්දු , මංජු ප‍්‍රනාන්දු ඇතුලු  පිරිසකි .
මෝටර් රථයේ ගමන් ගත් පිරිස බීමතින් සිට ඇති බවටද පොලිසියට කරනු අනාවරණයවී තිබේ.
රථවාහන අනතුරු ක්‍රමවේදය ප්‍රකාරව අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර වෙන්නප්පුව පොලිසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන මෙහෙයවයි.






Share:

ගෝඨාභයගේ හෙළිදරව්වට ලසන්තගේ දුව මෙල්බර්න් සිට උත්තර දෙයි


සතිඅන්ත ඉරිදා පුවත්පතක් මගින් සිය පියාණන්ගේ ඝාතනය ගැන තොරතුරු හෙළි කර තිබෙන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට පිළිතුරක් ලබාදෙන්නට ලසන්ත වික්‍රමතුංගගේ දියණිය අහිම්සා වික්‍රමතුංග කටයුතු කර  තිබේ.
දැනට ඕස්ට්‍රෙලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටින ඇය
ලංකාවේ සන්ඩේ ඔබ්සවර් පුවත්පත අමතා පවසා ඇත්තේ

‘මට විශ්වාසයි ඔහු කර තිබෙන හෙළි කිරීම ඇත්තක් කියල..ඔහු දන්නව ඇති ඇත්තටම මගේ පියා ඝාතනය කළේ කවුදැයි කියලා..මට එයා කියල තියන විදිහට ඇවිත් හමුවී එයාගෙන් ඒ ගැන දැනගන්න අවශ්‍යතාවක් නෑ.


 මොකද මං පොලිසිය නෙමේ.එයා දන්න සියලු දේ එයා සීඅයිඩීයට හෙළි කළ යුතුයි.සැකකරුවන් ලෝකයට හෙළි කිරීම මගින් යහපත් කාර්යයකට දායක විය හැකියි. අපි ලංකාවෙන් පිටත්ව විදේශ ගතවුනේ තිබුණ ජිවිත බිය නිසා. අපට 200 ක් විතර ආරක්ෂකයින් පිරිවරාගෙන ඉන්න ආරක්ෂක විධිවිධාන එදා සැලසුනෙ නෑ. මං හිතනවා මෙම ප්‍රකාශය අනුව සීඅයිඩීයට වුණත් තවත් කරුනු මේ ගැන හොයාගන්න උදව් වේවි කියලා‘
ලෙසිනි.

ඉරිදා අරුණ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් ගෝඨාභය රාජපක්ෂ මෙසේ කියා තිබුණි.

‘ඇත්තටම ලසන්තව මැරුවේ කව්ද කියන එක මේ හැමෝම දන්නවා. ලසන්ත ගැන සැමරුම් ලිපිය ලිව්වා කියන ලසන්තගේ දුවත් ඒ බව දන්නවා. ලලිතුත් ඒ බව දන්නවා. ඒත් කාටවත් ඒක හොයන්න, රටට හෙළි කරන්න, වරදකාරයට දඬුවම් දෙන්න ඕනෑකමක් නෑ. ලසන්තගේ ඝාතනයෙන් වාසියක් ගන්න විතරයි මේ අයට ඕනෑ.


 ලසන්තගේ පළමු බිරිඳ, දෙවන බිරිඳ, දුව, සහෝදරයා, පසුව පත් වුණ කර්තෘ ප්‍රෙඩ්රිකා ජෑන්ස් සේරම ඉන්නේ විදේශවල.

ලසන්තගේ පත්තරේ ලියපු පුවත්පත් කලාවේදියොත් දැන් ජීවත් වෙන්නේ පිටරටවල. ලසන්තගේ මිනිය විතරයි මෙහේ තියෙන්නේ. මේ කවුරුත් දන්නවා ඝාතකයා කව්ද කියලා. නමුත් පරීක්ෂණයක් හරියට කරන්න කාටවත් වුවමනාවක් නෑ. පරීක්ෂණය කරලා වැරදි කාරයට දඬුවම් දෙන්න ඒ ගොල්ලන්ගේ ආණ්ඩුව යටතේ හොඳ අවස්ථාවක් පෑදුනා.

ඒ වුණාට මේගොල්ලෝ බොරු කරන්නේ. ලසන්තගේ දුවට ඕනේ නම් ඝාතකයන් කව්ද කියලා දැනගන්න ලංකාවට ඇවිත් මාව හමුවෙන්න කියන්න. මම කියන්නම් වුණ දේ. හැබැයි උසාවිය ඉදිරියේ ඔප්පු කරන්න මට සාක්කි නෑ. අදටත් ලසන්ත ඝාතනයේ පරීක්ෂණ නැවතිලා තියෙන්නේ අපි කරපු පරීක්ෂණය නැවතුනු තැන. හේතුව ඒක වෙනම පොලිස් හා අධිකරණ පටිපාටියක්.‘
Share:

Thursday 6 December 2018

යූටියුබ් තරු: වැඩිම ආදායම්ලාභියාට වයස අවුරුදු හතයි


සෙල්ලම් බඩු පිළිබඳ විචාර ඉදිරිපත් කරන අවුරුදු හතක් වයසැති දරුවෙකු යූටියුබ්හි වැඩිම ආදායම්ලාභියා බවට පත් වී තිබේ. ඔහුගේ මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 22කි.

ෆෝබ්ස් සඟරාවට අනුව, තවත් සුප්‍රසිද්ධ යූටියුබ් තරුවක් වන ජේක් පෝල්ගේ ආදායම අභිබවා යෑමට රයන් නැමැති මෙම දරුවාගේ Ryan ToysReview නම් යූටියුබ් නාලිකාව සමත් වී ඇත. ජූනි දක්වා මාස දොළහක් ඇතුළත ජේක්ට වඩා ඩොලර් ලක්ෂ පහක ආදායමක් රයන් උපයා තිබේ.

රයන්ගේ නාලිකාව ඔස්සේ බොහෝ දිනවල වීඩියෝ පළ කරන අතර, පසුගිය ඉරිදා (දෙසැම්බර් 2) ඔහුගේ ඡායාරූපයක් ඇතුළත් කර ඇති blue giant mystery egg නම් සෙල්ලම් භාණ්ඩය පිළිබඳ වීඩියෝව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් නරඹා තිබේ.

ඩොලර් මිලියන 20ක ආදායමක් ලබන Dude Perfect නම් යූටියුබ් නාලිකාව තෙවන ස්ථානයට පත්ව ඇත.

බදු සහ නීතීඥ ගාස්තු ගෙවීමෙන් පසු රයන් උපයා ඇති මුදල මෙහි සඳහන් වී ඇති අතර, එය පසුගිය වසර සමග සංසන්දනය කිරීමේ දී දෙගුණයක වැඩි වීමකි.

රයන්ගේ වීඩියෝ නැරඹීමට දරුවන් මේ තරම් කැමැත්තක් දක්වන්නේ ඇයිදැයි NBC මාධ්‍ය ආයතනය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ "මට අනිත් අය සතුටු කරන්න පුළුවන් ඒ වගේම මම විනෝදජනකයි," යනුවෙනි.

2015 දී රයන්ගේ දෙමාපියන් ආරම්භ කළ මෙම යූටියුබ් නාලිකාව මේ වන විට බිලියන 26ක් නරඹා ඇති අතර, නිත්‍ය ග්‍රාහක පිරිස මිලියන 17.3 කි.

ෆෝබ්ස් සඟරාවට අනුව, රයන්ගේ ඩොලර් මිලියන 22ක ආදායමෙන් මිලියනයක් උපයාගෙන ඇත්තේ වීඩියෝවට පෙර විකාශනය කෙරෙන වෙළෙඳ දැන්වීම්වලිනි. ඉතිරිය මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම්වලින් උපයාගෙන ඇත.



යූටියුබ් හරහා ප්‍රසිද්ධ වූ වෙනත් පුද්ගලයන්ට සාපේක්ෂව, මුදල් ගෙවා ප්‍රචාරය කරන වෙළෙඳ දැන්වීම්වලින් රයන් ලබන ආදායම ඉතා අවම මට්ටමක පවතින බව ෆෝබ්ස් සඟරාවේ සඳහන් වේ.

"මෙයට හේතුව රයන්, නැත්නම් ඔහුගේ පවුලේ අය තෝරා ගත් වෙළෙඳ දැන්වීම් පමණක් ප්‍රචාරය කිරීම සහ ඔහුට සිටින රසිකයන්ගේ කැමැත්තයි."

රයන්ගේ නාලිකාවේ ප්‍රචාරය කරන සෙල්ලම් භාණ්ඩයක් වෙළෙඳපොලේ ඉතා කෙටි කලක් තුළ විකිණී අවසන් වේ.

මේ තොරතුරුද දැනගන්න:

"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද?
'යූටියුබ්' මූලස්ථානය ප්‍රහාරයකට ලක්වූයේ ඇයි?
යූටියුබ් කළඹන පෝල් සහෝදරයෝ
වෝල්මාට් සුපිරි වෙළෙඳසල 'රයන්ගේ ලෝකය (Ryan's World)' නමින් විවිධ සෙල්ලම් බඩු සහ ඇඳුම් හඳුන්වා දී තිබේ. රයන් සහ ඔහුගේ දෙමාපියන් තමන්ගේ නමින් ඇති සෙල්ලම් බඩු සොයන වීඩියෝවක් මාස තුනක් ඇතුළත මිලියන 14ක් නරඹා තිබිණි.

සිය නමින් ඇති මෙම භාණ්ඩවලින් ලැබෙන මුදලත් සමග ලබන වසර වන විට රයන්ගේ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත.

රයන් තවමත් කුඩා දරුවෙකු නිසා ඔහුගේ ආදායමෙන් 15%ක් බැංකු ගිණුමක තැන්පත් කරන අතර, ඔහු වැඩිහිටියෙකු බවට පත් වූ විට එම මුදල ලබා ගත හැකිය.

රයන්ගේ නිවුන් සහෝදරිය ද සමහර වීඩියෝවල රඟපාන්නීය. Ryan's Family Review නම් රයන්ගේ තවත් යූටියුබ් නාලිකාවකට පවුලේ සියලුදෙනා සම්බන්ධ වී සිටිති.

"කුඩා දරුවන්ට නිවස තුළදීම සිදු කළ හැකි විද්‍යාත්මක අත්හදාබැලීම් 10ක්" නම් වීඩියෝවේ පවුලේ දරුවන් තිදෙනාම පෙනී සිටි අතර, එය මිලියන 26ක් නරඹා තිබේ.

ඩොලර් මිලියන 16.5ක් උපයා 2017 වසරේ දී යූටියුබ් වැඩිම ආදායම්ලාභියා බවට පත් වූ ඩැනියෙල් මිඩ්ල්ටන් මෙම වසරේ දී හතරවන ස්ථානයට පත් වී තිබේ.

පසුගිය වසරේ අටවන ස්ථානයේ සිටි ජේක් පෝල් මෙවර දෙවන ස්ථානයට පත් වී ඇති අතර, ඩොලර් මිලියන 14.5ක් උපයා ඇති ඔහුගේ සොහොයුරා වන ලෝගන් පෝල් 10වන ස්ථානයේ සිටී. ලෝගන්ගේ ආදායම පෙර වසරට වඩා ඩොලර් මිලියන තුනකින් වැඩි වී තිබේ.

පසුගිය ජනවාරි මස ලෝගන් පෝල් ඔහුගේ එක් වීඩියෝවකින් ජපානයේ සිය දිවිනසා ගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් පෙන්වීම නිසා දැඩි විවේචනයට ලක් විය. නමුත්, පසුව ඔහු ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය.
Share:

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය දීර්ඝ කෙරේ


පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු නියෝගය දෙසැම්බර් 08 වෙනි දින දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 06) නියෝග කළේය.

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ලෙස ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය සිකුරාදා (දෙසැම්බර් 07) දක්වා කල් තැබීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අගවිනිසුරු නලීන් පෙරේරා මෙම පෙත්සම විභාග කරන සත් පුද්ගල විනිසුරු මඬුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර බුවනෙක අළුවිහාරේ, ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු එහි සෙසු සාමාජිකයෝය.

අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු බ්‍රහස්පතින්දා පෙරවරුවේ විනිසුරු මඬුල්ල හමුවේ තවදුරටත් කරුණු දැක්වූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජීඑල් පීරිස් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අදහස් දක්වමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 (2) වගන්තිය යටතේ පාර්ලිමේන්තු නිල කාලය සම්පූර්ණ වීමට ප්‍රථම ජනාධිපතිවරයාට එය විසුරුවා හැරීමට තිබෙන බලතල පිළිබඳව තවදුරටත් කරුණු ඉදිරිපත් කළේය.

1978 වසරෙන් පසුව පත්වූ එක් පාර්ලිමේන්තුවක් හැර අනෙකුත් පාර්ලිමේන්තු සියල්ල එහි නිල කාලය අවසන් වීමට ප්‍රථම විසුරුවා හැරීමට ජනාධිපතිවරුන්ට බලය පැවරුණේ මෙම 62 (2 ) වගන්තිය යටතේ බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, තවදුරටත් කියා සිටියේ ඒ බව තහවුරු කෙරෙන ප්‍රතිපාදන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තිය තුළ අන්තර්ගතව තිබෙන බවය.


අතරමැදි පෙත්සම්කරුවකු වන අමාත්‍ය උදය ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභ කළ යුතු බවය.

සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති අතර, එම පෙත්සම් විභාග කිරීම සඳහා අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති යැයි හැඟී යන අවස්ථාවක එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය හිමිවී තිබෙන බව ද ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.

අතරමැදි පෙත්සම්කරුවකු වන ජගත් වැල්ලවත්ත වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි කරුණු දක්වමින් කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) (c) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අමතර බලයක් හිමි වී තිබෙන බවය.

ඒ අනුව මෙම විසුරුවා හැරීම අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ තර්කය විය.

අග්‍රාමාත්‍යවරයා විධායක බලතල තමන් සතුව ඇතැයි සිතා කටයුතු කිරීම සහ ජනාධිපතිවරයා විධායක බලය අත්හැර දමා කටයුතු කිරීම නිසාත් ඇති වූ අර්බුදය දැන අධිකරණය දක්වා පැමිණ ඇති බව සඳහන් කළ ඔහු, මෙය ජනතා පරමාධිපත්‍යය පිළිබඳ ගැටලුවක් බැවින් එය ජනතාව හමුවට ගොස් විසඳා ගැනීම වඩාත් යෝග්‍ය බවත් කියා සිටියේය.

අතරමැදි පෙස්සම්කරුවකු වන ආචාර්ය චන්න ජයසුමන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන කරුණු දක්වමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ( 2) (c) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය විවාදයකින් තොරව පිළිගත යුතු බව කියා සිටියේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 33 (2) (c) සහ 62 (2) ජනාධිපතිවරයාට බලය පවරා දී ඇති අතර එම වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනත් කිසිදු වගන්තියකින් සීමාකිරීම්වලට ලක් කර නොමැති බවට ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන තර්ක කළේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13ක් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.


ඒ අනුව පළමු දිනයේ අධිකරණය හමුවේ කරුණු දැක්වූ දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඊ කණගීස්වරන් සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවස්ථා දෙකක් පමණක් සලසා දී ඇති බවය.


  1. පාර්ලිමේන්තුවක නිල කාලය ආරම්භ වී වසර හතරහමාරක් ගෙවුණු පසු
  2. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් යෝජනාවක් සම්මත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවක

එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරී තිබෙන බවද එම නීතිඥවරු පෙන්වා දුන්හ.

එහෙත්, මෙම නඩුවට පාදක වී තිබෙන විසුරුවාහැරීම, මෙම ප්‍රතිපාදන දෙකටම අදාළ නොවන බව පෙන්වා දෙන ඊ කණගීස්වරන් සහ තිලක් මාරපන ජනාධිපති නීතිඥවරුන් දෙදෙනා, එම විසුරුවා හැරීම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බව කියා සිටියහ.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජේසී වැලිඅමුණ කරුණු දක්වමින් කියා සිටියේ, ප්‍රශ්නගත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වෙනි සංශෝධනයේ ප්‍රතිපාදනවලට සම්පූර්ණයෙන්ම පටහැනි බවය.

මෙම විසුරුවාහැරීම සාධාරණීකරණය කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබුන ද එහි අන්තර්ගත කරුණු පිළිගත නොහැකි බව ද ජනාධිපති නීතිඥ වැලිඅමුණ අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
Share:

Friday 30 November 2018

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: එජාපෙ නායකයන් හමුවන බව ජනපති මෛත්‍රී කතානායකට කියයි

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස සිකුරාදා (නොවැම්බර් 30) විපක්ෂනායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් මුණගැසෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කතානායක කරු ජයසූරිය වෙත දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා ඒ බව පවසා තිබෙන්නේ බ්‍රහස්පතින්දා (29) පාර්ලිමේන්තු සැසිවාරයෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී කතානායකවරයා සමග පැවති සාකච්ඡාව අවස්ථාවේදීය.

දෙදෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවති බවත්, එහිදී ජනාධිපතිවරයා දැක්වූ යහපත් ප්‍රතිචාරය පිළිබඳව කතානායකවරයා සුභවාදීව සහ බලාපොරොත්තු සහගතව සිටින බවත් බීබීසී සිංහල සේවයට දැනගැනීමට ලැබිණ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඔක්තෝබර් 26 වෙනි දින අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහකොට මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා ලෙසින් පත් කිරීමත් සමග රටේ මතු වී තිබෙන "අවුල් සහගත දේශපාලන වාතාවරණය" සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ කතානායකවරයා සාකච්ඡා කොට කඩිනම් විසඳුමකට එළඹිය යුතු බව බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

ඒ අනුව සිකුරාදා විපක්ෂනායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් මුණ ගැසී "කඩිනම් විසඳුමකට එළඹීම" සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බවට ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත දැනුම් දෙනු ලැබූ බව, සාකච්ඡාවෙන් අනතුරුව කතානායක කාර්යාලය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

"සෑම අංශයකින්ම රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇතිවෙමින් පවතින බවත්, විශේෂයෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණ වීම, ආයෝජන ක්ෂේත්‍රය හා සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම රටට තවදුරටත් දරාගත නොහැකි බවත්," කතානායකවරයා එහිදී පෙන්වාදුන් බව ද නිවේදනයේ සඳහන් වේ.

අර්බුදයට විසඳුමක් සෙවීම පිණිස කතානායකවරයා ඉටුකරන කාර්යභාරය ජනාධිපතිවරයාගේ අගැයීමට ලක්වූ බවද බීබීසී සිංහල සේවයට වාර්තාවේ.


අගමැතිවරයාගේ මූල්‍ය සම්පාදන කපා දැමීමේ යෝජනාව බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත කෙරිණ. ඊට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර විරුද්ධව කිසිවෙක් ඡන්ද ප්‍රකාශ කළේ නැත. ජනාධිපතිවරයා විසින් පත් කළ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ පාර්ශවයට සහාය පළ කළ අතුරලියේ රතන හිමි සහ විජේදාස රාජපක්ෂ යන අය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියහ. එම පාර්ශ්වයේ අනෙක් මන්ත්‍රීවරුන් සභා ගැබට පැමිණියේ නැත.

මේ අතර පසුගිය ඉරිදා (නොවැම්බර් 25) විදේශීය මාධ්‍ය ආයතනවලට සේවය කරන මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා කියා සිටියේ, අගමැතිවරයාගේ මූල්‍ය සම්පාදන කපා දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් නොවැම්බර් 29 වෙනි දින පාර්ලිමේන්තුව "නිසි ක්‍රමවේදයට" යෝජනාවක් සම්මත කළහොත් එවිට තමන්ට ඒ ගැන තීන්දුවක් ගැනීමට සිදුවනු ඇති බවය.

Facebook හි BBC News සිංහල කළ වෙනි පළකිරීම මග හරින්නFacebook හි BBC News සිංහල කළ වෙනි පළකිරීමේ අවසානය
කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ යළිත් වරක් අගමැති පදවියට පත් නොකරන බව එදිනත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පසුගිය සිකුරාදා (නොවැම්බර් 23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කළේ, පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් රටේ විධායක ජනාධිපතිවරයාට කිසිදු බලපෑමක් කළ නොහැකි බවය.

පාර්ලිමේන්තුව සහ විධායක ජනපතිවරයා යනු එකිනෙකට ස්වාධීන ජනවරමකින් තේරී පත්වන ස්වාධීන ආයතන දෙකක් බව ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර පාර්ලිමේන්තු සැසිවාරයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කරන දෙමළ ජාතික සන්ධානය, ඔක්තෝබර් 26 වෙනි දිනට පෙර පැවති එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව යළි පිහිටුවීම සඳහා සහය පළකරන බව දැනුම් දී තිබුණි.
Share:

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට විසඳුම් පතා වීදි බට කාන්තාවෝ: "රට අරාජික වෙලා


ශ්‍රී ලංකාවේ හටගෙන තිබෙන දේශපාලන අර්බුදය දිනෙන් දින උග්‍ර වීම හේතුවෙන් රට අරාජික තත්වයකට ඇද වැටී ඇතැයි පවසමින් කාන්තාවන් 50 දෙනෙකුට අධික පිරිසක් බදාදා (නොවැම්බර් 28) කොළඹ ගාලුමුවදොර පිටියේ දී විරෝධතාවක නියැලී සිටියහ.

මෙම විරෝධතාවෙන් අනතුරුව කාන්තාවන් විශාල පිරිසක් අත්සන් කළ ලිපියක් ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබිණ. විරෝධතාවට සහභාගි වූ කාන්තාවන් අතරින් පස් දෙනෙකුට පමණක් ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසීමට පොලිසිය අවසර දුන්නේය. ඒ අනුව, රංගන ශිල්පිනියන් වන නදී කම්මැල්ලවීර, කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, ට්‍රේසි හෝල්සිංගර් සහ නාට්‍යවේදිනියක් වන රුවන්ති ද චිකේරා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් හමුවට ගොස් සිය ලිපිය භාර දුන්හ.

මහාචාර්යවරියන්, කථිකාචාර්යවරියන්, නීතීඥවරියන්, රංගන ශිල්පිනියන්, මාධ්‍යවේදිනියන්, ලේඛිකාවන්, මෝස්තර නිර්මාණ ශිල්පිනියන්, නාට්‍යවේදිනියන්, නර්තන ශිල්පිනියන්, ගායිකාවන්, සමාජ ක්‍රියාකාරිනියන්, චිත්‍රපට අධ්‍යක්ෂකවරියන්, ගුරුවරියන්, ගෘහ නිර්මාණ ශිල්පිනියන්, ව්‍යාපාරික කාන්තාවන් මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් ද මෙම විරෝධතාවට සහභාගි වී සිටියහ.

මහ වැසි මධ්‍යයේ පැවැත්වුන විරෝධතාව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කෙරුණ අතර, එයට සහභාගි වූ සියලු කාන්තාවෝ කළු පැහැති ඇඳුම්වලින් සැරසී සිටියහ.

"පසුගිය ඔක්තෝබර් 26 වනදා ඔබ විසින් ගන්නා ලද අත්තනෝමතික තීරණය හේතුවෙන් අද වන විට අපගේ රට මහත් ඛේදනීය තත්ත්වයකට පත්ව ඇත. ආර්ථික වශයෙන් රට දිනෙන් දිනම උග්‍ර අර්බුදකාරී තත්ත්වයකට ඇද වැටෙමින් පවතී. දේශපාලන සදාචාරය ද පෙර නොවූ විරූ ලෙස සෝදාපාළුවට හසුවී ඇත. තව දින කිහිපයක් මේ ආකාරයෙන්ම ගෙවෙන්නට හැරියහොත්, රාජ්‍ය ආයතන ඇතුළු මුළු මහත් සමාජය තුළ ප්‍රචණ්ඩත්වය ඇවිලී, මහත් විනාශකාරී තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්විය නොහැක," යනුවෙන් එම කාන්තාවන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කළ ලිපියේ ආරම්භක ඡේදයේ සඳහන් වෙයි.


Facebook හි Manohari කළ වෙනි පළකිරීම මග හරින්නFacebook හි Manohari කළ වෙනි පළකිරීමේ අවසානය ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, චන්ද්‍රා කලුආරච්චි, මහාචාර්ය දුෂී මෙන්ඩිස්, ආචාර්ය සුභා මල්ලිකාහේවා, චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, දිල්හානි අශෝකමාලා, දුලීකා මාරපන, ආචාර්ය කෞශල්‍යා පෙරේරා, අනෝමා රාජකරුණා, සුබෝධ්‍යා වැලිඅමුණ, රුවන්ති ද චිකේරා, ලංකා බණ්ඩාරනායක, ජයනි සේනානායක, දමිතා අබේරත්න, අමා විජේසේකර, නදී කම්මැල්ලවීර, ට්‍රේසි හෝල්සිංගර්, සීතා රංජනී, කුමුදු කුමාරසිංහ, නදීශානි පේලිආරච්චි, සුරංගා රණවක, නදී වාසලමුදලිආරච්චි, තරිදි ෆොන්සේකා, කුමාරි කුමාරගමගේ, තනුජා ජයවර්ධන, චිරන්ති මල්ලිකාරච්චි, නිල්මිණි බුවනෙක, සමාධි ලක්සිරි, චුලක්ෂි රණතුංග, රුවී ලක්මාලි හේරත්, කාංචනා තල්පාවිල, සුජානි මේනකා දහනායක, නිල්මිණි සිගේරා, සමනලී ෆොන්සේකා, බිම්සරා ප්‍රේමරත්න, වෙනුරි පෙරේරා, නිරංජලා මංජරී, ශ්‍යාමලිකා නානායක්කාර, අනුරාධා කෝදාගොඩ, රන්දුලා ද සිල්වා, හනා ඊබ්‍රහිම්, සෙල්වි සචිතානන්දන්, විශාඛා වේහැල්ල, කත්‍යානා අමරසිංහ, ප්‍රසාදිනී අතපත්තු, විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි, හර්ෂිකා රත්නායක, සුලෝචනා වීරසිංහ, කෞමදී ජයවීර, ද්‍රෞපදී ජයවීර, භවනීතා ලෝගනාදන්, තුෂාරි සෙව්වන්දි, අනුෂයා කොල්ලුරේ, මනෝහාරී හේවාවසම්, නදීරා නල්ලපෙරුම, හර්ෂණී පුෂ්පමාලා ආරච්චිගේ, ආරියවතී ජයකොඩි, තිළිණි රොද්‍රිගු, අමන්දා උදානි රොද්‍රිගු, රුචිරා තරංගනී රොද්‍රිගු, ඉන්ද්‍රා ද සිල්වා, සිරියාවති අතුකෝරළ, මනෝ මංජරී, සමදරා මාබුලගේ, තිලක්ෂණී රත්නායක සහ යශෝධා රසදුනි එම ලිපියට අත්සන් තැබූ කාන්තාවන්ය.



විරෝධතාව පැවැත්වෙන අතරතුර ඔවුහු සිය ෆේස්බුක් පිටු ඔස්සේ සජීවී වීඩියෝ ද නිකුත් කළහ.

"ජනාධිපතිතුමනි, අපි ඉල්ලන්නේ අපේ දරුවන් සහ රටේ අනාගතය වෙනුවෙන් කරුණාකර මේ රට ඉතුරු කරන්න කියලා" යැයි රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර එක් වීඩියෝ පටයක පවසන්නීය.

බොහෝ පැසසුම් සේම මෙම විරෝධතාව දැඩි විවේචනයට ලක් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇතැමුන් අදහස් පළ කර තිබෙනු දක්නට ලැබිණි.




මේ අතර, විවිධ පුද්ගලයන් අසභ්‍ය සහ අශෝභන වැකි බොහොමයක් ද පළ කර තිබෙනු දක්නට ලැබිණ.

මාධ්‍යවේදියෙකු සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ ධර්මන් වික්‍රමරත්න මෙම කාන්තා විරෝධතාව විවේචනය කරමින් සිය ෆේස්බුක් පිටුවේ අදහස් පළ කර තිබුණි.
Share:

Followers