Friday 30 November 2018

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට විසඳුම් පතා වීදි බට කාන්තාවෝ: "රට අරාජික වෙලා


ශ්‍රී ලංකාවේ හටගෙන තිබෙන දේශපාලන අර්බුදය දිනෙන් දින උග්‍ර වීම හේතුවෙන් රට අරාජික තත්වයකට ඇද වැටී ඇතැයි පවසමින් කාන්තාවන් 50 දෙනෙකුට අධික පිරිසක් බදාදා (නොවැම්බර් 28) කොළඹ ගාලුමුවදොර පිටියේ දී විරෝධතාවක නියැලී සිටියහ.

මෙම විරෝධතාවෙන් අනතුරුව කාන්තාවන් විශාල පිරිසක් අත්සන් කළ ලිපියක් ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබිණ. විරෝධතාවට සහභාගි වූ කාන්තාවන් අතරින් පස් දෙනෙකුට පමණක් ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසීමට පොලිසිය අවසර දුන්නේය. ඒ අනුව, රංගන ශිල්පිනියන් වන නදී කම්මැල්ලවීර, කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, ට්‍රේසි හෝල්සිංගර් සහ නාට්‍යවේදිනියක් වන රුවන්ති ද චිකේරා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් හමුවට ගොස් සිය ලිපිය භාර දුන්හ.

මහාචාර්යවරියන්, කථිකාචාර්යවරියන්, නීතීඥවරියන්, රංගන ශිල්පිනියන්, මාධ්‍යවේදිනියන්, ලේඛිකාවන්, මෝස්තර නිර්මාණ ශිල්පිනියන්, නාට්‍යවේදිනියන්, නර්තන ශිල්පිනියන්, ගායිකාවන්, සමාජ ක්‍රියාකාරිනියන්, චිත්‍රපට අධ්‍යක්ෂකවරියන්, ගුරුවරියන්, ගෘහ නිර්මාණ ශිල්පිනියන්, ව්‍යාපාරික කාන්තාවන් මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් ද මෙම විරෝධතාවට සහභාගි වී සිටියහ.

මහ වැසි මධ්‍යයේ පැවැත්වුන විරෝධතාව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කෙරුණ අතර, එයට සහභාගි වූ සියලු කාන්තාවෝ කළු පැහැති ඇඳුම්වලින් සැරසී සිටියහ.

"පසුගිය ඔක්තෝබර් 26 වනදා ඔබ විසින් ගන්නා ලද අත්තනෝමතික තීරණය හේතුවෙන් අද වන විට අපගේ රට මහත් ඛේදනීය තත්ත්වයකට පත්ව ඇත. ආර්ථික වශයෙන් රට දිනෙන් දිනම උග්‍ර අර්බුදකාරී තත්ත්වයකට ඇද වැටෙමින් පවතී. දේශපාලන සදාචාරය ද පෙර නොවූ විරූ ලෙස සෝදාපාළුවට හසුවී ඇත. තව දින කිහිපයක් මේ ආකාරයෙන්ම ගෙවෙන්නට හැරියහොත්, රාජ්‍ය ආයතන ඇතුළු මුළු මහත් සමාජය තුළ ප්‍රචණ්ඩත්වය ඇවිලී, මහත් විනාශකාරී තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්විය නොහැක," යනුවෙන් එම කාන්තාවන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කළ ලිපියේ ආරම්භක ඡේදයේ සඳහන් වෙයි.


Facebook හි Manohari කළ වෙනි පළකිරීම මග හරින්නFacebook හි Manohari කළ වෙනි පළකිරීමේ අවසානය ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, චන්ද්‍රා කලුආරච්චි, මහාචාර්ය දුෂී මෙන්ඩිස්, ආචාර්ය සුභා මල්ලිකාහේවා, චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, දිල්හානි අශෝකමාලා, දුලීකා මාරපන, ආචාර්ය කෞශල්‍යා පෙරේරා, අනෝමා රාජකරුණා, සුබෝධ්‍යා වැලිඅමුණ, රුවන්ති ද චිකේරා, ලංකා බණ්ඩාරනායක, ජයනි සේනානායක, දමිතා අබේරත්න, අමා විජේසේකර, නදී කම්මැල්ලවීර, ට්‍රේසි හෝල්සිංගර්, සීතා රංජනී, කුමුදු කුමාරසිංහ, නදීශානි පේලිආරච්චි, සුරංගා රණවක, නදී වාසලමුදලිආරච්චි, තරිදි ෆොන්සේකා, කුමාරි කුමාරගමගේ, තනුජා ජයවර්ධන, චිරන්ති මල්ලිකාරච්චි, නිල්මිණි බුවනෙක, සමාධි ලක්සිරි, චුලක්ෂි රණතුංග, රුවී ලක්මාලි හේරත්, කාංචනා තල්පාවිල, සුජානි මේනකා දහනායක, නිල්මිණි සිගේරා, සමනලී ෆොන්සේකා, බිම්සරා ප්‍රේමරත්න, වෙනුරි පෙරේරා, නිරංජලා මංජරී, ශ්‍යාමලිකා නානායක්කාර, අනුරාධා කෝදාගොඩ, රන්දුලා ද සිල්වා, හනා ඊබ්‍රහිම්, සෙල්වි සචිතානන්දන්, විශාඛා වේහැල්ල, කත්‍යානා අමරසිංහ, ප්‍රසාදිනී අතපත්තු, විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි, හර්ෂිකා රත්නායක, සුලෝචනා වීරසිංහ, කෞමදී ජයවීර, ද්‍රෞපදී ජයවීර, භවනීතා ලෝගනාදන්, තුෂාරි සෙව්වන්දි, අනුෂයා කොල්ලුරේ, මනෝහාරී හේවාවසම්, නදීරා නල්ලපෙරුම, හර්ෂණී පුෂ්පමාලා ආරච්චිගේ, ආරියවතී ජයකොඩි, තිළිණි රොද්‍රිගු, අමන්දා උදානි රොද්‍රිගු, රුචිරා තරංගනී රොද්‍රිගු, ඉන්ද්‍රා ද සිල්වා, සිරියාවති අතුකෝරළ, මනෝ මංජරී, සමදරා මාබුලගේ, තිලක්ෂණී රත්නායක සහ යශෝධා රසදුනි එම ලිපියට අත්සන් තැබූ කාන්තාවන්ය.



විරෝධතාව පැවැත්වෙන අතරතුර ඔවුහු සිය ෆේස්බුක් පිටු ඔස්සේ සජීවී වීඩියෝ ද නිකුත් කළහ.

"ජනාධිපතිතුමනි, අපි ඉල්ලන්නේ අපේ දරුවන් සහ රටේ අනාගතය වෙනුවෙන් කරුණාකර මේ රට ඉතුරු කරන්න කියලා" යැයි රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර එක් වීඩියෝ පටයක පවසන්නීය.

බොහෝ පැසසුම් සේම මෙම විරෝධතාව දැඩි විවේචනයට ලක් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇතැමුන් අදහස් පළ කර තිබෙනු දක්නට ලැබිණි.




මේ අතර, විවිධ පුද්ගලයන් අසභ්‍ය සහ අශෝභන වැකි බොහොමයක් ද පළ කර තිබෙනු දක්නට ලැබිණ.

මාධ්‍යවේදියෙකු සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ ධර්මන් වික්‍රමරත්න මෙම කාන්තා විරෝධතාව විවේචනය කරමින් සිය ෆේස්බුක් පිටුවේ අදහස් පළ කර තිබුණි.
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive