Friday 30 November 2018

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: එජාපෙ නායකයන් හමුවන බව ජනපති මෛත්‍රී කතානායකට කියයි

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස සිකුරාදා (නොවැම්බර් 30) විපක්ෂනායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් මුණගැසෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කතානායක කරු ජයසූරිය වෙත දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා ඒ බව පවසා තිබෙන්නේ බ්‍රහස්පතින්දා (29) පාර්ලිමේන්තු සැසිවාරයෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී කතානායකවරයා සමග පැවති සාකච්ඡාව අවස්ථාවේදීය.

දෙදෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවති බවත්, එහිදී ජනාධිපතිවරයා දැක්වූ යහපත් ප්‍රතිචාරය පිළිබඳව කතානායකවරයා සුභවාදීව සහ බලාපොරොත්තු සහගතව සිටින බවත් බීබීසී සිංහල සේවයට දැනගැනීමට ලැබිණ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඔක්තෝබර් 26 වෙනි දින අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහකොට මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා ලෙසින් පත් කිරීමත් සමග රටේ මතු වී තිබෙන "අවුල් සහගත දේශපාලන වාතාවරණය" සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ කතානායකවරයා සාකච්ඡා කොට කඩිනම් විසඳුමකට එළඹිය යුතු බව බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

ඒ අනුව සිකුරාදා විපක්ෂනායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් මුණ ගැසී "කඩිනම් විසඳුමකට එළඹීම" සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බවට ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත දැනුම් දෙනු ලැබූ බව, සාකච්ඡාවෙන් අනතුරුව කතානායක කාර්යාලය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

"සෑම අංශයකින්ම රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇතිවෙමින් පවතින බවත්, විශේෂයෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණ වීම, ආයෝජන ක්ෂේත්‍රය හා සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම රටට තවදුරටත් දරාගත නොහැකි බවත්," කතානායකවරයා එහිදී පෙන්වාදුන් බව ද නිවේදනයේ සඳහන් වේ.

අර්බුදයට විසඳුමක් සෙවීම පිණිස කතානායකවරයා ඉටුකරන කාර්යභාරය ජනාධිපතිවරයාගේ අගැයීමට ලක්වූ බවද බීබීසී සිංහල සේවයට වාර්තාවේ.


අගමැතිවරයාගේ මූල්‍ය සම්පාදන කපා දැමීමේ යෝජනාව බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත කෙරිණ. ඊට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර විරුද්ධව කිසිවෙක් ඡන්ද ප්‍රකාශ කළේ නැත. ජනාධිපතිවරයා විසින් පත් කළ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ පාර්ශවයට සහාය පළ කළ අතුරලියේ රතන හිමි සහ විජේදාස රාජපක්ෂ යන අය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියහ. එම පාර්ශ්වයේ අනෙක් මන්ත්‍රීවරුන් සභා ගැබට පැමිණියේ නැත.

මේ අතර පසුගිය ඉරිදා (නොවැම්බර් 25) විදේශීය මාධ්‍ය ආයතනවලට සේවය කරන මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා කියා සිටියේ, අගමැතිවරයාගේ මූල්‍ය සම්පාදන කපා දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් නොවැම්බර් 29 වෙනි දින පාර්ලිමේන්තුව "නිසි ක්‍රමවේදයට" යෝජනාවක් සම්මත කළහොත් එවිට තමන්ට ඒ ගැන තීන්දුවක් ගැනීමට සිදුවනු ඇති බවය.

Facebook හි BBC News සිංහල කළ වෙනි පළකිරීම මග හරින්නFacebook හි BBC News සිංහල කළ වෙනි පළකිරීමේ අවසානය
කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ යළිත් වරක් අගමැති පදවියට පත් නොකරන බව එදිනත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පසුගිය සිකුරාදා (නොවැම්බර් 23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කළේ, පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් රටේ විධායක ජනාධිපතිවරයාට කිසිදු බලපෑමක් කළ නොහැකි බවය.

පාර්ලිමේන්තුව සහ විධායක ජනපතිවරයා යනු එකිනෙකට ස්වාධීන ජනවරමකින් තේරී පත්වන ස්වාධීන ආයතන දෙකක් බව ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර පාර්ලිමේන්තු සැසිවාරයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කරන දෙමළ ජාතික සන්ධානය, ඔක්තෝබර් 26 වෙනි දිනට පෙර පැවති එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව යළි පිහිටුවීම සඳහා සහය පළකරන බව දැනුම් දී තිබුණි.
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive