Thursday 6 December 2018

යූටියුබ් තරු: වැඩිම ආදායම්ලාභියාට වයස අවුරුදු හතයි


සෙල්ලම් බඩු පිළිබඳ විචාර ඉදිරිපත් කරන අවුරුදු හතක් වයසැති දරුවෙකු යූටියුබ්හි වැඩිම ආදායම්ලාභියා බවට පත් වී තිබේ. ඔහුගේ මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 22කි.

ෆෝබ්ස් සඟරාවට අනුව, තවත් සුප්‍රසිද්ධ යූටියුබ් තරුවක් වන ජේක් පෝල්ගේ ආදායම අභිබවා යෑමට රයන් නැමැති මෙම දරුවාගේ Ryan ToysReview නම් යූටියුබ් නාලිකාව සමත් වී ඇත. ජූනි දක්වා මාස දොළහක් ඇතුළත ජේක්ට වඩා ඩොලර් ලක්ෂ පහක ආදායමක් රයන් උපයා තිබේ.

රයන්ගේ නාලිකාව ඔස්සේ බොහෝ දිනවල වීඩියෝ පළ කරන අතර, පසුගිය ඉරිදා (දෙසැම්බර් 2) ඔහුගේ ඡායාරූපයක් ඇතුළත් කර ඇති blue giant mystery egg නම් සෙල්ලම් භාණ්ඩය පිළිබඳ වීඩියෝව මේ වනවිට මිලියනයකට අධික පිරිසක් නරඹා තිබේ.

ඩොලර් මිලියන 20ක ආදායමක් ලබන Dude Perfect නම් යූටියුබ් නාලිකාව තෙවන ස්ථානයට පත්ව ඇත.

බදු සහ නීතීඥ ගාස්තු ගෙවීමෙන් පසු රයන් උපයා ඇති මුදල මෙහි සඳහන් වී ඇති අතර, එය පසුගිය වසර සමග සංසන්දනය කිරීමේ දී දෙගුණයක වැඩි වීමකි.

රයන්ගේ වීඩියෝ නැරඹීමට දරුවන් මේ තරම් කැමැත්තක් දක්වන්නේ ඇයිදැයි NBC මාධ්‍ය ආයතනය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ "මට අනිත් අය සතුටු කරන්න පුළුවන් ඒ වගේම මම විනෝදජනකයි," යනුවෙනි.

2015 දී රයන්ගේ දෙමාපියන් ආරම්භ කළ මෙම යූටියුබ් නාලිකාව මේ වන විට බිලියන 26ක් නරඹා ඇති අතර, නිත්‍ය ග්‍රාහක පිරිස මිලියන 17.3 කි.

ෆෝබ්ස් සඟරාවට අනුව, රයන්ගේ ඩොලර් මිලියන 22ක ආදායමෙන් මිලියනයක් උපයාගෙන ඇත්තේ වීඩියෝවට පෙර විකාශනය කෙරෙන වෙළෙඳ දැන්වීම්වලිනි. ඉතිරිය මුදල් ගෙවා ප්‍රචාරය කරන දැන්වීම්වලින් උපයාගෙන ඇත.



යූටියුබ් හරහා ප්‍රසිද්ධ වූ වෙනත් පුද්ගලයන්ට සාපේක්ෂව, මුදල් ගෙවා ප්‍රචාරය කරන වෙළෙඳ දැන්වීම්වලින් රයන් ලබන ආදායම ඉතා අවම මට්ටමක පවතින බව ෆෝබ්ස් සඟරාවේ සඳහන් වේ.

"මෙයට හේතුව රයන්, නැත්නම් ඔහුගේ පවුලේ අය තෝරා ගත් වෙළෙඳ දැන්වීම් පමණක් ප්‍රචාරය කිරීම සහ ඔහුට සිටින රසිකයන්ගේ කැමැත්තයි."

රයන්ගේ නාලිකාවේ ප්‍රචාරය කරන සෙල්ලම් භාණ්ඩයක් වෙළෙඳපොලේ ඉතා කෙටි කලක් තුළ විකිණී අවසන් වේ.

මේ තොරතුරුද දැනගන්න:

"යූටියුබ් තරු" මුදල් උපයන්නේ කොහොමද?
'යූටියුබ්' මූලස්ථානය ප්‍රහාරයකට ලක්වූයේ ඇයි?
යූටියුබ් කළඹන පෝල් සහෝදරයෝ
වෝල්මාට් සුපිරි වෙළෙඳසල 'රයන්ගේ ලෝකය (Ryan's World)' නමින් විවිධ සෙල්ලම් බඩු සහ ඇඳුම් හඳුන්වා දී තිබේ. රයන් සහ ඔහුගේ දෙමාපියන් තමන්ගේ නමින් ඇති සෙල්ලම් බඩු සොයන වීඩියෝවක් මාස තුනක් ඇතුළත මිලියන 14ක් නරඹා තිබිණි.

සිය නමින් ඇති මෙම භාණ්ඩවලින් ලැබෙන මුදලත් සමග ලබන වසර වන විට රයන්ගේ ආදායම සැලකිය යුතු ලෙස ඉහළ යනු ඇත.

රයන් තවමත් කුඩා දරුවෙකු නිසා ඔහුගේ ආදායමෙන් 15%ක් බැංකු ගිණුමක තැන්පත් කරන අතර, ඔහු වැඩිහිටියෙකු බවට පත් වූ විට එම මුදල ලබා ගත හැකිය.

රයන්ගේ නිවුන් සහෝදරිය ද සමහර වීඩියෝවල රඟපාන්නීය. Ryan's Family Review නම් රයන්ගේ තවත් යූටියුබ් නාලිකාවකට පවුලේ සියලුදෙනා සම්බන්ධ වී සිටිති.

"කුඩා දරුවන්ට නිවස තුළදීම සිදු කළ හැකි විද්‍යාත්මක අත්හදාබැලීම් 10ක්" නම් වීඩියෝවේ පවුලේ දරුවන් තිදෙනාම පෙනී සිටි අතර, එය මිලියන 26ක් නරඹා තිබේ.

ඩොලර් මිලියන 16.5ක් උපයා 2017 වසරේ දී යූටියුබ් වැඩිම ආදායම්ලාභියා බවට පත් වූ ඩැනියෙල් මිඩ්ල්ටන් මෙම වසරේ දී හතරවන ස්ථානයට පත් වී තිබේ.

පසුගිය වසරේ අටවන ස්ථානයේ සිටි ජේක් පෝල් මෙවර දෙවන ස්ථානයට පත් වී ඇති අතර, ඩොලර් මිලියන 14.5ක් උපයා ඇති ඔහුගේ සොහොයුරා වන ලෝගන් පෝල් 10වන ස්ථානයේ සිටී. ලෝගන්ගේ ආදායම පෙර වසරට වඩා ඩොලර් මිලියන තුනකින් වැඩි වී තිබේ.

පසුගිය ජනවාරි මස ලෝගන් පෝල් ඔහුගේ එක් වීඩියෝවකින් ජපානයේ සිය දිවිනසා ගත් පුද්ගලයෙකුගේ මළ සිරුරක් පෙන්වීම නිසා දැඩි විවේචනයට ලක් විය. නමුත්, පසුව ඔහු ප්‍රසිද්ධියේ සමාව අයැද සිටියේය.
Share:

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය දීර්ඝ කෙරේ


පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු නියෝගය දෙසැම්බර් 08 වෙනි දින දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය බ්‍රහස්පතින්දා (දෙසැම්බර් 06) නියෝග කළේය.

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ලෙස ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය සිකුරාදා (දෙසැම්බර් 07) දක්වා කල් තැබීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

අගවිනිසුරු නලීන් පෙරේරා මෙම පෙත්සම විභාග කරන සත් පුද්ගල විනිසුරු මඬුල්ලේ ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර බුවනෙක අළුවිහාරේ, ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු එහි සෙසු සාමාජිකයෝය.

අතරමැදි පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු බ්‍රහස්පතින්දා පෙරවරුවේ විනිසුරු මඬුල්ල හමුවේ තවදුරටත් කරුණු දැක්වූහ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජීඑල් පීරිස් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන අදහස් දක්වමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 62 (2) වගන්තිය යටතේ පාර්ලිමේන්තු නිල කාලය සම්පූර්ණ වීමට ප්‍රථම ජනාධිපතිවරයාට එය විසුරුවා හැරීමට තිබෙන බලතල පිළිබඳව තවදුරටත් කරුණු ඉදිරිපත් කළේය.

1978 වසරෙන් පසුව පත්වූ එක් පාර්ලිමේන්තුවක් හැර අනෙකුත් පාර්ලිමේන්තු සියල්ල එහි නිල කාලය අවසන් වීමට ප්‍රථම විසුරුවා හැරීමට ජනාධිපතිවරුන්ට බලය පැවරුණේ මෙම 62 (2 ) වගන්තිය යටතේ බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන, තවදුරටත් කියා සිටියේ ඒ බව තහවුරු කෙරෙන ප්‍රතිපාදන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 10 වන වගන්තිය තුළ අන්තර්ගතව තිබෙන බවය.


අතරමැදි පෙත්සම්කරුවකු වන අමාත්‍ය උදය ගම්මන්පිල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ජනාධිපතිවරයාගේ තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර තිබෙන මෙම පෙත්සම් සියල්ල නිෂ්ප්‍රභ කළ යුතු බවය.

සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තහවුරු කිරීමට පෙත්සම්කරුවන් අසමත් වී ඇති අතර, එම පෙත්සම් විභාග කිරීම සඳහා අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසීය.

අග්‍රාමාත්‍යවරයාට පාර්ලිමේන්තුව තුළ බහුතරයක් නොමැති යැයි හැඟී යන අවස්ථාවක එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් බලය හිමිවී තිබෙන බව ද ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා වැඩිදුරටත් සඳහන් කළේය.

අතරමැදි පෙත්සම්කරුවකු වන ජගත් වැල්ලවත්ත වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි කරුණු දක්වමින් කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 (2) (c) වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අමතර බලයක් හිමි වී තිබෙන බවය.

ඒ අනුව මෙම විසුරුවා හැරීම අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බවත් ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ තර්කය විය.

අග්‍රාමාත්‍යවරයා විධායක බලතල තමන් සතුව ඇතැයි සිතා කටයුතු කිරීම සහ ජනාධිපතිවරයා විධායක බලය අත්හැර දමා කටයුතු කිරීම නිසාත් ඇති වූ අර්බුදය දැන අධිකරණය දක්වා පැමිණ ඇති බව සඳහන් කළ ඔහු, මෙය ජනතා පරමාධිපත්‍යය පිළිබඳ ගැටලුවක් බැවින් එය ජනතාව හමුවට ගොස් විසඳා ගැනීම වඩාත් යෝග්‍ය බවත් කියා සිටියේය.

අතරමැදි පෙස්සම්කරුවකු වන ආචාර්ය චන්න ජයසුමන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන කරුණු දක්වමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 ( 2) (c) වගන්තිය ප්‍රකාරව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට තිබෙන බලය විවාදයකින් තොරව පිළිගත යුතු බව කියා සිටියේය.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 33 (2) (c) සහ 62 (2) ජනාධිපතිවරයාට බලය පවරා දී ඇති අතර එම වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනත් කිසිදු වගන්තියකින් සීමාකිරීම්වලට ලක් කර නොමැති බවට ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන තර්ක කළේය.

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13ක් පෙත්සම් ඉදිරිපත් කර තිබේ.


ඒ අනුව පළමු දිනයේ අධිකරණය හමුවේ කරුණු දැක්වූ දෙමළ ජාතික සන්ධානය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඊ කණගීස්වරන් සහ එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිලක් මාරපන කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවස්ථා දෙකක් පමණක් සලසා දී ඇති බවය.


  1. පාර්ලිමේන්තුවක නිල කාලය ආරම්භ වී වසර හතරහමාරක් ගෙවුණු පසු
  2. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වැඩි බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් විසින් යෝජනාවක් සම්මත කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවක

එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරී තිබෙන බවද එම නීතිඥවරු පෙන්වා දුන්හ.

එහෙත්, මෙම නඩුවට පාදක වී තිබෙන විසුරුවාහැරීම, මෙම ප්‍රතිපාදන දෙකටම අදාළ නොවන බව පෙන්වා දෙන ඊ කණගීස්වරන් සහ තිලක් මාරපන ජනාධිපති නීතිඥවරුන් දෙදෙනා, එම විසුරුවා හැරීම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බව කියා සිටියහ.

ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ජේසී වැලිඅමුණ කරුණු දක්වමින් කියා සිටියේ, ප්‍රශ්නගත පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වෙනි සංශෝධනයේ ප්‍රතිපාදනවලට සම්පූර්ණයෙන්ම පටහැනි බවය.

මෙම විසුරුවාහැරීම සාධාරණීකරණය කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් අධිකරණය වෙත දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබුන ද එහි අන්තර්ගත කරුණු පිළිගත නොහැකි බව ද ජනාධිපති නීතිඥ වැලිඅමුණ අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
Share:

Friday 30 November 2018

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: එජාපෙ නායකයන් හමුවන බව ජනපති මෛත්‍රී කතානායකට කියයි

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම පිණිස සිකුරාදා (නොවැම්බර් 30) විපක්ෂනායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් මුණගැසෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කතානායක කරු ජයසූරිය වෙත දැනුම් දී තිබේ.

ජනාධිපතිවරයා ඒ බව පවසා තිබෙන්නේ බ්‍රහස්පතින්දා (29) පාර්ලිමේන්තු සැසිවාරයෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී කතානායකවරයා සමග පැවති සාකච්ඡාව අවස්ථාවේදීය.

දෙදෙනා අතර ඉතා සුහද සාකච්ඡාවක් පැවති බවත්, එහිදී ජනාධිපතිවරයා දැක්වූ යහපත් ප්‍රතිචාරය පිළිබඳව කතානායකවරයා සුභවාදීව සහ බලාපොරොත්තු සහගතව සිටින බවත් බීබීසී සිංහල සේවයට දැනගැනීමට ලැබිණ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ඔක්තෝබර් 26 වෙනි දින අගමැති රනිල් වික්‍රමසිංහ පදවියෙන් පහකොට මහින්ද රාජපක්ෂ නව අගමැතිවරයා ලෙසින් පත් කිරීමත් සමග රටේ මතු වී තිබෙන "අවුල් සහගත දේශපාලන වාතාවරණය" සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ කතානායකවරයා සාකච්ඡා කොට කඩිනම් විසඳුමකට එළඹිය යුතු බව බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.

ඒ අනුව සිකුරාදා විපක්ෂනායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් මුණ ගැසී "කඩිනම් විසඳුමකට එළඹීම" සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන බවට ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත දැනුම් දෙනු ලැබූ බව, සාකච්ඡාවෙන් අනතුරුව කතානායක කාර්යාලය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

"සෑම අංශයකින්ම රට තුළ අස්ථාවර තත්ත්වයක් ඇතිවෙමින් පවතින බවත්, විශේෂයෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණ වීම, ආයෝජන ක්ෂේත්‍රය හා සංචාරක කර්මාන්තයේ බිඳ වැටීම රටට තවදුරටත් දරාගත නොහැකි බවත්," කතානායකවරයා එහිදී පෙන්වාදුන් බව ද නිවේදනයේ සඳහන් වේ.

අර්බුදයට විසඳුමක් සෙවීම පිණිස කතානායකවරයා ඉටුකරන කාර්යභාරය ජනාධිපතිවරයාගේ අගැයීමට ලක්වූ බවද බීබීසී සිංහල සේවයට වාර්තාවේ.


අගමැතිවරයාගේ මූල්‍ය සම්පාදන කපා දැමීමේ යෝජනාව බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත කෙරිණ. ඊට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර විරුද්ධව කිසිවෙක් ඡන්ද ප්‍රකාශ කළේ නැත. ජනාධිපතිවරයා විසින් පත් කළ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ පාර්ශවයට සහාය පළ කළ අතුරලියේ රතන හිමි සහ විජේදාස රාජපක්ෂ යන අය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියහ. එම පාර්ශ්වයේ අනෙක් මන්ත්‍රීවරුන් සභා ගැබට පැමිණියේ නැත.

මේ අතර පසුගිය ඉරිදා (නොවැම්බර් 25) විදේශීය මාධ්‍ය ආයතනවලට සේවය කරන මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේ ජනාධිපතිවරයා කියා සිටියේ, අගමැතිවරයාගේ මූල්‍ය සම්පාදන කපා දැමීමේ යෝජනාව සම්බන්ධයෙන් නොවැම්බර් 29 වෙනි දින පාර්ලිමේන්තුව "නිසි ක්‍රමවේදයට" යෝජනාවක් සම්මත කළහොත් එවිට තමන්ට ඒ ගැන තීන්දුවක් ගැනීමට සිදුවනු ඇති බවය.

Facebook හි BBC News සිංහල කළ වෙනි පළකිරීම මග හරින්නFacebook හි BBC News සිංහල කළ වෙනි පළකිරීමේ අවසානය
කෙසේ වුවත් රනිල් වික්‍රමසිංහ යළිත් වරක් අගමැති පදවියට පත් නොකරන බව එදිනත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

පසුගිය සිකුරාදා (නොවැම්බර් 23) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කළ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අවධාරණය කළේ, පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් රටේ විධායක ජනාධිපතිවරයාට කිසිදු බලපෑමක් කළ නොහැකි බවය.

පාර්ලිමේන්තුව සහ විධායක ජනපතිවරයා යනු එකිනෙකට ස්වාධීන ජනවරමකින් තේරී පත්වන ස්වාධීන ආයතන දෙකක් බව ඔහු පෙන්වා දුන්නේය.

මේ අතර පාර්ලිමේන්තු සැසිවාරයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමු කරන දෙමළ ජාතික සන්ධානය, ඔක්තෝබර් 26 වෙනි දිනට පෙර පැවති එක්සත් ජාතික පෙරමුණේ නායකත්වයෙන් යුතු ආණ්ඩුව යළි පිහිටුවීම සඳහා සහය පළකරන බව දැනුම් දී තිබුණි.
Share:

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදයට විසඳුම් පතා වීදි බට කාන්තාවෝ: "රට අරාජික වෙලා


ශ්‍රී ලංකාවේ හටගෙන තිබෙන දේශපාලන අර්බුදය දිනෙන් දින උග්‍ර වීම හේතුවෙන් රට අරාජික තත්වයකට ඇද වැටී ඇතැයි පවසමින් කාන්තාවන් 50 දෙනෙකුට අධික පිරිසක් බදාදා (නොවැම්බර් 28) කොළඹ ගාලුමුවදොර පිටියේ දී විරෝධතාවක නියැලී සිටියහ.

මෙම විරෝධතාවෙන් අනතුරුව කාන්තාවන් විශාල පිරිසක් අත්සන් කළ ලිපියක් ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබිණ. විරෝධතාවට සහභාගි වූ කාන්තාවන් අතරින් පස් දෙනෙකුට පමණක් ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසීමට පොලිසිය අවසර දුන්නේය. ඒ අනුව, රංගන ශිල්පිනියන් වන නදී කම්මැල්ලවීර, කෞශල්‍යා ප්‍රනාන්දු, චාන්දනී සෙනෙවිරත්න, ට්‍රේසි හෝල්සිංගර් සහ නාට්‍යවේදිනියක් වන රුවන්ති ද චිකේරා ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් හමුවට ගොස් සිය ලිපිය භාර දුන්හ.

මහාචාර්යවරියන්, කථිකාචාර්යවරියන්, නීතීඥවරියන්, රංගන ශිල්පිනියන්, මාධ්‍යවේදිනියන්, ලේඛිකාවන්, මෝස්තර නිර්මාණ ශිල්පිනියන්, නාට්‍යවේදිනියන්, නර්තන ශිල්පිනියන්, ගායිකාවන්, සමාජ ක්‍රියාකාරිනියන්, චිත්‍රපට අධ්‍යක්ෂකවරියන්, ගුරුවරියන්, ගෘහ නිර්මාණ ශිල්පිනියන්, ව්‍යාපාරික කාන්තාවන් මෙන්ම විශ්ව විද්‍යාල සිසුන් ද මෙම විරෝධතාවට සහභාගි වී සිටියහ.

මහ වැසි මධ්‍යයේ පැවැත්වුන විරෝධතාව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය කෙරුණ අතර, එයට සහභාගි වූ සියලු කාන්තාවෝ කළු පැහැති ඇඳුම්වලින් සැරසී සිටියහ.

"පසුගිය ඔක්තෝබර් 26 වනදා ඔබ විසින් ගන්නා ලද අත්තනෝමතික තීරණය හේතුවෙන් අද වන විට අපගේ රට මහත් ඛේදනීය තත්ත්වයකට පත්ව ඇත. ආර්ථික වශයෙන් රට දිනෙන් දිනම උග්‍ර අර්බුදකාරී තත්ත්වයකට ඇද වැටෙමින් පවතී. දේශපාලන සදාචාරය ද පෙර නොවූ විරූ ලෙස සෝදාපාළුවට හසුවී ඇත. තව දින කිහිපයක් මේ ආකාරයෙන්ම ගෙවෙන්නට හැරියහොත්, රාජ්‍ය ආයතන ඇතුළු මුළු මහත් සමාජය තුළ ප්‍රචණ්ඩත්වය ඇවිලී, මහත් විනාශකාරී තත්ත්වයක් නිර්මාණය වීම වැළැක්විය නොහැක," යනුවෙන් එම කාන්තාවන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත යොමු කළ ලිපියේ ආරම්භක ඡේදයේ සඳහන් වෙයි.


Facebook හි Manohari කළ වෙනි පළකිරීම මග හරින්නFacebook හි Manohari කළ වෙනි පළකිරීමේ අවසානය ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, චන්ද්‍රා කලුආරච්චි, මහාචාර්ය දුෂී මෙන්ඩිස්, ආචාර්ය සුභා මල්ලිකාහේවා, චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු, දිල්හානි අශෝකමාලා, දුලීකා මාරපන, ආචාර්ය කෞශල්‍යා පෙරේරා, අනෝමා රාජකරුණා, සුබෝධ්‍යා වැලිඅමුණ, රුවන්ති ද චිකේරා, ලංකා බණ්ඩාරනායක, ජයනි සේනානායක, දමිතා අබේරත්න, අමා විජේසේකර, නදී කම්මැල්ලවීර, ට්‍රේසි හෝල්සිංගර්, සීතා රංජනී, කුමුදු කුමාරසිංහ, නදීශානි පේලිආරච්චි, සුරංගා රණවක, නදී වාසලමුදලිආරච්චි, තරිදි ෆොන්සේකා, කුමාරි කුමාරගමගේ, තනුජා ජයවර්ධන, චිරන්ති මල්ලිකාරච්චි, නිල්මිණි බුවනෙක, සමාධි ලක්සිරි, චුලක්ෂි රණතුංග, රුවී ලක්මාලි හේරත්, කාංචනා තල්පාවිල, සුජානි මේනකා දහනායක, නිල්මිණි සිගේරා, සමනලී ෆොන්සේකා, බිම්සරා ප්‍රේමරත්න, වෙනුරි පෙරේරා, නිරංජලා මංජරී, ශ්‍යාමලිකා නානායක්කාර, අනුරාධා කෝදාගොඩ, රන්දුලා ද සිල්වා, හනා ඊබ්‍රහිම්, සෙල්වි සචිතානන්දන්, විශාඛා වේහැල්ල, කත්‍යානා අමරසිංහ, ප්‍රසාදිනී අතපත්තු, විපුලි නිරෝෂිණී හෙට්ටිආරච්චි, හර්ෂිකා රත්නායක, සුලෝචනා වීරසිංහ, කෞමදී ජයවීර, ද්‍රෞපදී ජයවීර, භවනීතා ලෝගනාදන්, තුෂාරි සෙව්වන්දි, අනුෂයා කොල්ලුරේ, මනෝහාරී හේවාවසම්, නදීරා නල්ලපෙරුම, හර්ෂණී පුෂ්පමාලා ආරච්චිගේ, ආරියවතී ජයකොඩි, තිළිණි රොද්‍රිගු, අමන්දා උදානි රොද්‍රිගු, රුචිරා තරංගනී රොද්‍රිගු, ඉන්ද්‍රා ද සිල්වා, සිරියාවති අතුකෝරළ, මනෝ මංජරී, සමදරා මාබුලගේ, තිලක්ෂණී රත්නායක සහ යශෝධා රසදුනි එම ලිපියට අත්සන් තැබූ කාන්තාවන්ය.



විරෝධතාව පැවැත්වෙන අතරතුර ඔවුහු සිය ෆේස්බුක් පිටු ඔස්සේ සජීවී වීඩියෝ ද නිකුත් කළහ.

"ජනාධිපතිතුමනි, අපි ඉල්ලන්නේ අපේ දරුවන් සහ රටේ අනාගතය වෙනුවෙන් කරුණාකර මේ රට ඉතුරු කරන්න කියලා" යැයි රංගන ශිල්පිනී නදී කම්මැල්ලවීර එක් වීඩියෝ පටයක පවසන්නීය.

බොහෝ පැසසුම් සේම මෙම විරෝධතාව දැඩි විවේචනයට ලක් කරමින් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඇතැමුන් අදහස් පළ කර තිබෙනු දක්නට ලැබිණි.




මේ අතර, විවිධ පුද්ගලයන් අසභ්‍ය සහ අශෝභන වැකි බොහොමයක් ද පළ කර තිබෙනු දක්නට ලැබිණ.

මාධ්‍යවේදියෙකු සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ලේකම්වරයෙකු වශයෙන් කටයුතු කළ ධර්මන් වික්‍රමරත්න මෙම කාන්තා විරෝධතාව විවේචනය කරමින් සිය ෆේස්බුක් පිටුවේ අදහස් පළ කර තිබුණි.
Share:

Monday 26 November 2018

4 වන පිම්ම - වසන්ත සේනානායක යළි එජාපයේ



ඊයේ 26 සවස අරලියගහමන්දිරයේ පැවති මන්ත්‍රී කන්ඩායමේ රැස්වීමට පසුගියදා කථාබහට ලක්වූ මන්ත්‍රී වසන්ත සේනානායක යලි පැමිණ තිබුණි.

ඔහු එජාපයෙන් සන්ධානයටත් පසුව සන්දානයෙන් එජාපයටත් පැමිණි පසු නැවත එජාපයෙන් සන්දානයට ගොස් තිබූ අතර අද යළි 4 වැනි පිම්ම සිදු කරමින් එජාපයටම ඇවිත් තිබුණි.
මෙවර ඔහු තමන්ගේ අවසන් පිම්ම ලෙස මෙය හඳුන්වමින් කතාවක්ද කළේය.
තමන් පාක්ෂිකයන්ගෙන් සමාව ඉල්ලන බවත් එක්සත් ජාතික පක්ෂයේ සිට ආණ්ඩුවට එක්වූයෙත් ආණ්ඩුවේ සිට එක්සත් ජාතික පක්ෂයට එක්වීමටත්


 ගත් තීරණ අපහසුවෙන් ගත් තීරණ බව අමාත්‍ය වසන්ත සේනානායක මහතා පවසා තිබේ.

“මම මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමාත්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් සමග එක්වූයේ මට වැඩ කරන්න බැරිවුණ ජනතාවට යම්කිසි සේවයක් කරන්න. අවුරුදු තුනක් වෙනුවෙන් ඒ මිනිස්සුන්ට මට කිසිම දෙයක් කරන්න බැරිවුණා. රැකියාවක් කරන්න බැරිවුණා.

මම මන්ත්‍රීවරුන්ගෙන් සමාව ඉල්ලන් නෑ. නමුත් ගම්මට්ටමේ ඉන්න ජනතාවගෙන් සමාව ඉල්ලනවා. ඒ අය දාලා ගියා කියලා හිතනවානම් මම බොහොම අමාරුවෙන් මේ තීරණයට ආවේ. එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්වුණෙත් බොහොම අමාරුවෙන්. ආණ්ඩුවෙන් මට කරපු ගෞරවය දාලා යන්නෙත් හිත් රිදීමකින්.”
Share:

මාව ඉතාම වැරදි චෝදනා යටතේ නිරපරාදේ සිරගත කලා - ඥානසාර හිමි


"මාව ඉතාම වැරැදි චෝදනා යටතේ නිරපරාදේ සිරගත කරලා තියෙනවා. ඒක නිවැරැදි කරන්නේ කවුද? නිවැරැදි කරන්නේ කොහේදිද? දැන් ඒක ගැන කියන්න තියෙන්නේ දෙවියන්ට පමණයි. කරුණාකරලා ඒක
නිවැරැදි කරන්න කටයුතු කරන්නැයි

 ඉල්ලා සිටිනවා" යැයි බන්ධනාගාරගතව සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඊයේ (26දා) හෝමාගම අධිකරණ භූමියේදී පැවැසූහ.

ඉකුත් 2012 වර්ෂයේ දිනෙක දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමේදී එහි රාජකාරී කළ පොලිස් නිලධාරීන්ට හා අධිවේගී මාර්ග සේවකයන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව යටතේ හෝමාගම  මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුත්තක් සඳහා පෙනී සිට නැවත බන්ධනාගාරයට යෑම සඳහා බන්ධනාගාර බස් රථයට ගොඩවන අවස්ථාවේදී උන්වහන්සේ එලෙස පැවැසූහ.

-චම්පා ජීවන්ති- (Gossip Lanka)
Share:

Daily Toons













Share:

Saturday 24 November 2018

පාසල් සිසුවෙකු පිහියෙන් ඇන තවත් සිසුවෙකු මරාදමයි - රණ්ඩුව සහෝදරයා පෙම්වතියට බැණ වැදුණ නිසාලු


ඊයේ 24 දහවල් මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේ උපකාරක පන්තියක් අසලදී සිදුවූ පිහි ඇණුමකින් 19 හැවිරිදි පාසල් සිසුවෙකු මියගියා. මිතුරන් දෙදෙනෙකු සමග උපකාරක පන්තියට ගමන් කරමින් සිටි මියගිය සිසුවාට පහරදීමට තවත් සිසුන් තිදෙනෙකු කල්වේලා ඇතිව මෝටර් සයිකලයකින් පැමිණ උපකාරක පන්තිය පැවැත්වෙන ස්ථානයට යාබද පටු පාර අසළ මග රැක සිට  මෙම පහරදීම සිදු කර තිබේ. මගරැක සිටි දෙදෙනකු මියගිය අයගේ යහළුවන් දෙදෙනාට පහරදී වෙනත් පැත්තකට රැගෙන යද්දී ප්‍රධාන සැකකාර සිසුවා මියගිය සිසුවා ඉලක්ක කර


 තම අතෙහි තිබූ මධ්‍යම ප්‍රමාණයේ පිහියකින් පහර පිට පහර එල්ල කරන අයුරු සීසීටීවී කැමරාවකද සටහන් වී තිබේ. එම එක් පහරක් ඉතා දරුණු ලෙස මියගිය සිසුවාගේ උදරය කපාගෙන යන අතර මිනිත්තුවක් ඇතුළත ඔහු ලේ ගලමින් ඇදවැටී තිබුණ බව වාර්තා විය.

පසුව අසල්වාසීන් පැමිණ මෙම සිසුවාව ත්‍රීරෝද රියකින් රෝහල් ගත කරන්නට කටයුතු යෙදුවත් ඔහු රෝහලට ගෙනයනවිටත් මියගොස් තිබුණ බව වාර්තා විය.
පහරකෑ තවත් සිසුවකු තවමත් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ. සිද්ධියෙන් මියගොස් ඇත්තේ තිහගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි මාතර ශාන්ත තෝමස් විද්‍යාලයේ 13 වසරේ විද්‍යා අංශයෙන් ඉගෙනුම ලබන රසිඳු ගිම්හාන් නමැති සිසුවෙකි.ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකාර සිතිජ නමැති සිසුවා සහ අනෙක් සිසුන් දෙදෙනා මේවන විට ප‍්‍රදේශයෙන් පළාගොස් ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය විමර්ශන ආරම්භකර ඇත.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මියගිය සිසුවාගේ මව ප්‍රකාශ කර තිබුනේ ඝාතනය සිදු කළ සිතිජ නමැති සිසුවාගෙන් 


 මියගිය අයගේ සොයුරෙකුට තර්ජන තිබුණ බවත් මේ නිසා එයට මැදිහත්වී මියගිය රසිඳුද ඔහු සමග ආරවුලට ගොස් තිබුණ බවත්ය. මියගිය රසිඳු 4 දෙනෙකුගෙන් යුතු පවුලක 2 වැනියා විය. ඔහුගේ සොයුරෙකු හා ඝාතන සැකකාර සිතිජ අතර ප්‍රශ්නයක් මතුව ඇත්තේ පෙම්පලහිලව්වක් මුල් කරගෙනයි. සිතිජගේ පෙම්වතියට රසිඳුගේ සොයුරා බැණවැදීමේ සිද්ධියක් නිසා මීට පෙර අවස්ථාවක පහරදීමක් සිදුව ඇති අතර එම අවස්ථාවේ සොයුරා වෙනුවෙන් මැදිහත්වී රසිඳු ඔවුනට පහරදී බේරාගෙන තිබේ. ඉන් පසු එම ආරවුලට ප්‍රතිප්‍රහාරයක් වශයෙන් ඊයේ සිදුවූ පිහි ඇණුම සිදු කර ඇත.මියගිය අයගේ මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.

පළාගිය සැකකරුවන් සියල්ල හඳුනාගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළ අතර ඉදිරියේදී ඔවුන් අත්අඩංගුවට ගන්නට නියමිතය.

Share:

Wednesday 21 November 2018

අස්වුණා කියූ වසන්ත කැබිනෙට්ටුවේ............



සංචාරක හා වනජීවී කැබිනට් ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වන බව පැවැසූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා ජනාධිපති කාර්යාලයේ ඊයේ (21) උදෑසන පැවැති කැබිනට් සාකච්ඡාවට පැමිණ තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් උදෑසන 9.30ට පමණ සතියේ සුපුරුදු කැබිනට් සාකච්ඡාව ආරම්භ වී ඇත.

අමාත්‍ය වසන්ත සේනානායක මහතා සාමාන්‍ය පරිදි කැබිනට් සාකච්ඡාවට එක්වී ඇති අතර අමාත්‍ය මණ්ඩලයේ කිසිවකුත් ඔහුට විරුද්ධත්වයක් දක්වා නොමැත.

සංචාරක හා වනජීවී  කැබිනට් ඇමැතිධුරයේ දිවුරුම් දුන් වසන්ත සේනානායක මහතා පසුගිය 14දා පැවැති පාර්ලිමේන්තු සැසිවාරයෙන් පසුව සිය ඇමැතිධුරයෙන් ඉල්ලා අස්වන බව පැවැසීය. තමාගේ අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමුකරන බවද ඔහු එදින පැවැසීය. වසන්ත සේනානායක මහතා සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී නොමැති බවත් ඔහු සුපුරුදු පරිදි අමාත්‍යධුරයේ රාජකාරී කරන බවත් කම්කරු හා ඛනිජ තෙල් අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අප කළ විමසුමකදී පැවැසීය.

Lakbima online
Share:

විසුරුවීමට මැති සබයේ තුනෙන් දෙක නැත්නම් පළාත් සභා නවයේම එක් දින මැතිවරණයක්



පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම අභියෝගයට ලක්වීම හේතුවෙන් පළාත් සභා නවයේම ඡන්ද එක් දිනක පවත්වා ජනතා මතය විමසීමේ මාර්ගයක් ලෙස එය යොදා ගැනීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

මේ වනවිට නැගෙනහිර, සබරගමුව, උතුරු – මැද, උතුර, වයඹ හා මධ්‍යම යන පළාත් සභා හයේ නිල කාලය අවසන් වී ඇති අතර, බස්නාහිර, දකුණ සහ ඌව පළාත් සභා තවදුරටත් ක්‍රියාත්මකය.
පළාත් සභා පනත අනුව අදාළ පළාත් සභාවේ මහ ඇමතිවරයා විසින් පළාත් සභාව විසුරුවා හරින ලෙස ආණ්ඩුකාරවරයා වෙත දැනුම්දීමක් කරනු ලැබුවහොත්, ආණ්ඩුකාරවරයාට පළාත් සභාව විසුරුවා හැරීමේ බලතල තිබේ. මේ වන විට නියමිත නිල කාලය සම්පූර්ණ නොවූ ඌව, දකුණ හා බස්නාහිර පළාත් සභා තුනේම බලය තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට වන අතර චාමර සම්පත්, ශාන් විජේලාල් හා ඉසුර දේවප්‍රිය යන සියලුදෙනාම ජනාධිපතිවරයා පත් කළ මහ ඇමතිවරු වෙති.

පසුගිය 14 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කර තිබුණේ පැරණි සමානුපාතික ක්‍රමයට, කාන්තා නියෝජනය 25%ක් වන ලෙස පළාත් සභා මැතිවරණය පවත්වන බවය.

පළාත් සභා ඡන්දය පිළිබඳ විමසීමේදී කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පැවසුවේ පළාත් සභා නවයේම ඡන්ද පැවැත්වීම කෙසේ වෙතත් දැනට නිල කාලය අවසන් වී ඇති පළාත් සභා හයේ හෝ ඡන්ද කඩිනමින් පැවැත්විය යුතු බවය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යෑමේ උත්සාහයක්ද මහින්ද රාජපක්ෂ පාර්ශ්වය දරමින් සිටින අතර ඔහු පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව අමතමින් එම අදහස ඉදිරිපත් කළේය. එවැනි යෝජනාවකට සහාය දෙන බව ජවිපෙ මේ වනවිට ප්‍රකාශ කර ඇතත්, එජාපයේ සහාය නොමැතිව තුනෙන් දෙකේ බහුතරයක් ලබාගැනීමේ හැකියාව නොමැත.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ කැමැත්ත නොමැතිව අවුරුදු හතරහමාරකට පෙර මැති සබය විසුරුවීමට ජනාධිපතිවරයාට බලය තිබේදැයි විමසන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දීමට නියමිත ලබන දෙසැම්බර් 07 වැනිදායින් පසු පළාත් සභා ඡන්දය පිළිබඳ තීරණ ගැනීමට අදාළ සැලසුම වී ඇතැයි දැනගන්නට තිබේ. එහෙත් 07 වැනිදාට පෙර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ කැමැත්තෙන් එය විසුරුවීමට මහින්ද පාර්ශ්වය දැඩි උත්සාහයක් දරනු ඇතැයිද වාර්තා වේ.

Rawaya online
Share:

මං පැන්නේ නෑ -තවමත් එජාපයේ - වඩිවේල් සුරේෂ්


තමන් තවමත් එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන බව, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ්මහතා පවසයි. අද පෙරවරුවේ අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ, වඩිවේල් සුරේෂ් මහතා, වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ ආරම්භ කර ඇති බවයි.

එමෙන්ම වසන්ත සේනානායක මහතා අද පැවති කැබිනට් රැස්වීමට සහභාගී වූ බව ද එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ ය. එම ප්‍රකාශය බොරුවක් බව වඩිවේල් සුරේෂ් දන්වා සිටී 
Share:

තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්ෂයේ නාම ‍ලේඛනය මහ‍ලේකම්වරයාට








පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා ආණ්ඩු පක්ෂයේ නියෝජිතයන්ගේ නාම ‍ලේඛනය සභා නායක කාර්යාලය පාර්ලිමේන්තු මහ‍ලේකම්වරයා වෙත ඊයේ (21) යොමුකර ඇත.

ආණ්ඩු පක්ෂය විසින් ඒ සඳහා සාමාජිකයන් 7 දෙනෙකු නම්කර තිබේ. අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, එස්.බි. දිසානායක, නිමල් සිරිපාලද සිල්වා, මහින්ද සමරසිංහ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, තිලංග සුමතිපාල යන මහත්වරුන් ඒ සඳහා පත්කර තිබේ.

Lakbima online
Share:

අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය

ඉදිරි මාස 4ට රටේ ආර්ථික කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමකට අද (21) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ. 

එයඉදිරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. සතියේ සුපුරුදු කැබිනට් සාකච්ඡාව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (21) පෙරවරුවේ පැවැත්වුණි.

කිසිදු ආකාරයක මූල්‍ය අර්බුදයකට ඉදිරියේදී රට මුහුණ නොදෙන බව මුදල් අමාත්‍යාංශයේ ‍ලේකම්, මහා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ‍ලේකම් ඇතුළු ආර්ථික විශේෂඥයෝ කිහිපදෙනෙක් කැබිනට් සාකච්ඡාවේදී කැබිනට් ඇමැතිවරු වෙත පෙන්වා දී තිබේ.  විපක්ෂය මේ මොහොතේ රට ආර්ථික වශයෙන් කඩාවැටෙමින් පවතින බවට ගෙනයන ප්‍රචාර පිළිබඳව කැබිනට් සාකච්ඡාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ.  එළැඹෙන වසරේ ණය වාරික ගෙවා දැමීම කිසිදු ගැටලුවකින් තොරව කළ හැකි බවද මෙහිදී පෙන්වාදී තිබේ.

පැවැති රජයෙන් නීත්‍යනුකූලව ලබාගෙන ඇති ණය ප්‍රමාණයද ඉදිරියේදී රටේ ආර්ථිකයට උචිත පරිදි යොදා ගැනීමට හැකියාව ඇති බව මුදල් අමාත්‍යාංශයේ ‍ලේකම්වරයා පෙන්වා දී තිබේ.  කැබිනට් යෝජනා 43ක් කැබිනට් මණ්ඩලය වෙත කැබිනට් ඇමැතිවරු විසින් ඉදිරිපත් කර තිබේ.  ඒ අතර කොළඹ නගරය ඇතුළු නාගරික ප්‍රදේශවල ගොඩගැසී ඇති කැළිකසළ බැහැර කිරීම සඳහා නව ක්‍රමවේද සැකසීම, නාගරික ප්‍රවාහන සේවා නවීකරණයට විදුලි බස් රථ මිලදී ගැනීම, නව පාලම් ඉදිකිරීම් ඇතුළු යෝජනා රැසක් ඉදිරිපත් වී තිබේ.

Lakbima online news
Share:

වසන්ත සේනානායක ආණ්ඩුවට ආයෙත් එයි


පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක මහතා අද (21) පැවති කැබිනට් රැස්වීමට සහභාගී වී තිබේ.
වනජීවී අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වී එක්සත් ජාතික පෙරමුණු රජයට සහය පළ කරන බව  පසුගිය දා ඔහු ප්‍රකාශ කළද අද (21) පැවති කැබිනට් රැස්වීම අවසන් වන තුරුම එහි රැඳී සිටියේය.
Share:

වඩිවේල් සුරේෂුත් නැවත පනී


පසුගියදා එජපයෙන් සන්ධානයටත් පසුව 14 වනදා සන්ධානයෙන් එජාපයටත් ගමන් කළ වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයාද අද අමාත්‍ය මණ්ඩල රැස්වීමට එක්වූබව වාර්තාවේ.

ඔහු සමග වසන්ත සේනානායකද පැමිණ තිබුනි. මුලින් සන්ධානයට ආ අවස්තාවේ ලබාගත් තීරණය ගැන වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා කියා තිබුනේ තමන් සුලු ජනකොටසක නියෝජිතයෙකු නිසා බහුතරය හඳුනාගත් ඕනෑම පක්ෂයකට සහය දී තම ජන කොටස වෙනුවෙන් යුතුකම් ඉටු කරන බවත් ඒ ගැන තමන්ට ඡන්දය දුන් අය දොස් නොපරවන බවත්ය.

කෙසේ වෙතත් 14 වනදා එජාප රැස්වීමට පැමිණ නායක රනිල් සමග එකළඟ අසුන් ගෙන සිටි සුරේෂ් තමා මුලින් ලබාගත් තීරණය වැරදි එකක් බව කියා තිබුනි.
ඔහු අද ඇමති මණ්ඩල රැස්වීමට එක්වූ බව ආණ්ඩු පක්ෂ ආරංචි තහවුරු කලේය. 
Share:

චන්දිමාල්ට අවසන් ටෙස්ට් තරඟය අහිමි වෙයි



ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම නිසා ශ්‍රී ලංකා ටෙස්ට්ක ණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එංගලන්තය සමඟ පැවැත්වෙන 03 වන ටෙස්ට් තරඟය අහිමි වී ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරයි. දෙරට අතර ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරඟයේදී දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වූ අතර එම හේතුවෙන් එංගලන්තය සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟය ද ඔහුට අහිමිවී තිබුණි.
Share:

දේශපාලන පෙරළියෙන් පසු විදෙස් ආයෝජන බිලියන 30 ක් අහිමිවේ



ඔක්තෝබර් 26 වැනි දා සිට ගතවූ සති තුනකට ආසන්න කාලයේදී රුපියල් බිලියන 30කට වැඩි මුදලක් විදෙස් ආයෝජකයන් විසින් වෙළෙඳපොළෙන් ඉවත් කරගෙන ඇතැයි රොයිටර් පුවත් සේවය 
වාර්තා කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඔක්තෝබර් 26 වැනි දා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීමත් සමඟ ඇති වූ දේශපාලන අස්ථාවරත්වයක් සහ අවිනිශ්චිත තත්ත්වය මෙසේ ආයෝජන ඉවත් කරගැනීමට හේතුවූ බව විශේෂඥ පෙන්වා දෙන බවද රොයිටර් වාර්තා වල සදහන් කරනවා.

මේ අතර නොවැම්බර් 14 වැනි දා වන විට ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 7.2ක් වූ බවත් මේ වසර අවසාන වනවිට එම ප්‍රමාණය බිලියන 7.8ක් දක්වා ඉහළ යනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පසුගිය සතියේදී පැවැසීය.

ඒ අනුව ලබන වසරේ සිට ශ්‍රී ලංකාවට වසරකදී සාමාන්‍ය වශයෙන් ගෙවීමට ඇති ණය ප්‍රමාණය පමණක් එක්සත් ජනපද ඩොලර් බිලියන 4 ක් වන බව ද මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර සඳුඳා (19) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් වාර්තා ගත ලෙස පහත වැටුණු අතර එක්සත්ජ නපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 178.26 ක් ලෙස දැක්වුණා
Share:

Followers

Blog Archive