Wednesday 21 November 2018

විසුරුවීමට මැති සබයේ තුනෙන් දෙක නැත්නම් පළාත් සභා නවයේම එක් දින මැතිවරණයක්



පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයක් කැඳවීම අභියෝගයට ලක්වීම හේතුවෙන් පළාත් සභා නවයේම ඡන්ද එක් දිනක පවත්වා ජනතා මතය විමසීමේ මාර්ගයක් ලෙස එය යොදා ගැනීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.

මේ වනවිට නැගෙනහිර, සබරගමුව, උතුරු – මැද, උතුර, වයඹ හා මධ්‍යම යන පළාත් සභා හයේ නිල කාලය අවසන් වී ඇති අතර, බස්නාහිර, දකුණ සහ ඌව පළාත් සභා තවදුරටත් ක්‍රියාත්මකය.
පළාත් සභා පනත අනුව අදාළ පළාත් සභාවේ මහ ඇමතිවරයා විසින් පළාත් සභාව විසුරුවා හරින ලෙස ආණ්ඩුකාරවරයා වෙත දැනුම්දීමක් කරනු ලැබුවහොත්, ආණ්ඩුකාරවරයාට පළාත් සභාව විසුරුවා හැරීමේ බලතල තිබේ. මේ වන විට නියමිත නිල කාලය සම්පූර්ණ නොවූ ඌව, දකුණ හා බස්නාහිර පළාත් සභා තුනේම බලය තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට වන අතර චාමර සම්පත්, ශාන් විජේලාල් හා ඉසුර දේවප්‍රිය යන සියලුදෙනාම ජනාධිපතිවරයා පත් කළ මහ ඇමතිවරු වෙති.

පසුගිය 14 වැනිදා පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය මහින්ද සමරසිංහ ප්‍රකාශ කර තිබුණේ පැරණි සමානුපාතික ක්‍රමයට, කාන්තා නියෝජනය 25%ක් වන ලෙස පළාත් සභා මැතිවරණය පවත්වන බවය.

පළාත් සභා ඡන්දය පිළිබඳ විමසීමේදී කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් පැවසුවේ පළාත් සභා නවයේම ඡන්ද පැවැත්වීම කෙසේ වෙතත් දැනට නිල කාලය අවසන් වී ඇති පළාත් සභා හයේ හෝ ඡන්ද කඩිනමින් පැවැත්විය යුතු බවය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයකින්ම පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යෑමේ උත්සාහයක්ද මහින්ද රාජපක්ෂ පාර්ශ්වය දරමින් සිටින අතර ඔහු පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව අමතමින් එම අදහස ඉදිරිපත් කළේය. එවැනි යෝජනාවකට සහාය දෙන බව ජවිපෙ මේ වනවිට ප්‍රකාශ කර ඇතත්, එජාපයේ සහාය නොමැතිව තුනෙන් දෙකේ බහුතරයක් ලබාගැනීමේ හැකියාව නොමැත.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ කැමැත්ත නොමැතිව අවුරුදු හතරහමාරකට පෙර මැති සබය විසුරුවීමට ජනාධිපතිවරයාට බලය තිබේදැයි විමසන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව දීමට නියමිත ලබන දෙසැම්බර් 07 වැනිදායින් පසු පළාත් සභා ඡන්දය පිළිබඳ තීරණ ගැනීමට අදාළ සැලසුම වී ඇතැයි දැනගන්නට තිබේ. එහෙත් 07 වැනිදාට පෙර පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ කැමැත්තෙන් එය විසුරුවීමට මහින්ද පාර්ශ්වය දැඩි උත්සාහයක් දරනු ඇතැයිද වාර්තා වේ.

Rawaya online
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive