Tuesday 20 November 2018

ඉන්දියාවේ අනාචාරයේ හැසිරීම අපරාධයක් නෙමෙයි



‘අනාචාරයේ හැසිරීම’ තවදුරටත් අපරාධයක් නොවන බව ඉන්දියාවේ ඉහළ අධිකරණයක් තීන්දු කර තිබේ.

යම් පුරුෂයෙකු විවාහක කාන්තාවක් සමග ඇයගේ ස්වාමිපුරුෂයාගේ අවසරයකින් තොරව ලිංගිකව එක් වන්නේ නම් ඔහු අනාචාරයේ හැසිරීම යන සාපරාධී ක්‍රියාව සිදු කර ඇති බවට යටත්විජිත සමයට අයත් වසර 158ක් පැරණි නීතියේ සඳහන් වී තිබිණි.

නීතිය බලාත්මක වූ දින සිට කොපමණ පුරුෂයින් ප්‍රමාණයක් මෙම වරද සම්බන්ධයෙන් අධිකරණය හමුවට පැමිණියේ දැයි පැහැදිලි නැත. අදාළ නීතියට අභියෝග කරමින් පෙත්සම්කරු තර්ක කළේ එයින් කාන්තාවන්ට සහ පුරුෂයන්ට අත්තනෝමතික සහ වෙනස් කොට සැලකීමක් සිදුවන බවය.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම මස තුළ අවස්ථා දෙකක දී යටත්විජිත සමයට අයත් නීති වෙනස් කිරීමට කටයුතු කළේය. සමලිංගික සේවනය වරදක් ලෙස දැක්වූ වසර 157ක් පැරණි නීතියක් වෙනස් කරමින් ද පසුගියදා තීන්දුවක් නිකුත් කෙරිණි.

“දික්කසාද වීම වැනි සිවිල් නඩුවකට හේතුවක් ලෙස මෙය යොදා ගත්තත්, අනාචාරයේ හැසිරීම අපරාධයක් නොවේ,” යැයි නඩු තීන්දුව කියවන අතරතුර ඉන්දියානු අගවිනිසුරු දීපක් මිශ්‍රා සඳහන් කළේය.

මෙම නීතියට අභියෝග කළේ කවුද?
ඉතාලියේ වාසය කරන ඉන්දීය ව්‍යාපාරිකයෙකු වන 41 හැවිදිරි ජෝසෙෆ් ෂයින් පසුගිය අගෝස්තු මාසයේ මෙම නීතියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබුණි.

“අනාචාරයේ හැසිරීම පිළිබඳ නඩුවකදී විවාහක කාන්තාවන් විශේෂ වන්නේ නැහැ. ඔවුන් පුරුෂයන්ගෙන් කිසිසේත්ම වෙනස් වෙන්නේ නැහැ,” යනුවෙන් එම පෙත්සමේ සඳහන් විය.

“මෙම නීතිය නිසා කාන්තාවන්ට විශාල අසාධාරණයක් සිදුවෙනවා. ඔවුන් පුරුෂයන්ගේ දේපළක් ලෙස බරපතළ පූර්ව නිගමනයකට එළැඹීමට ඉඩ තිබෙනවා,” ඔහු පැවසීය.

පිටු 45ක් දිගු පෙත්සමේ, අමෙරිකානු කවියෙකු වන රැල්ෆ් වැල්දෝ එමර්සන්, කාන්තා අයිතීන් ක්‍රියාකාරිනියක වන මේරි වෝල්ස්ටන්ක්‍රාෆ්ට් සහ එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් කොෆි අන්නන් සමානාත්මතාවය වෙනුවෙන් සිදුකළ මෙහෙය පිළිබඳ කරුණු ද ඇතුළත් කර තිබිණි.

කෙසේනමුත්, ඉන්දියාවේ වර්තමාන බලය හිමි භාරතීය ජනතා පක්ෂය මෙම පෙත්සමට විරුද්ධ වී ඇති අතර, අනාචාරයේ හැසිරීම නීතියට අනුව සාපරාධී ක්‍රියාවක් විය යුතු බව ආණ්ඩුවේ මතය විය.

“අනාචාරයේ හැසිරීම සම්බන්ධයෙන් පවතින නීති අවලංගු කළහොත් විවාහයක පිරිසිදු බවට කැළලක් ඇති වෙනවා. අනාචාරයේ හැසිරීම නීත්‍යනුකූල කළ විට විවාහ බන්ධනයට බාධා ඇතිවෙනවා. ඉන්දීය සම්ප්‍රදාය තුළ විවාහයේ පිරිසිදු බවට අති විශාල වැදගත්කමක් හිමිවෙනවා,” යැයි රජය වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා අධිකරණයට පැවසීය.

මෙම පැරණි නීතියට අනුව, අපරාධයට සහාය දැක්වූවා යැයි කාන්තාවට දඬුවම් නියම කළ නොහැකිය. ඒ වෙනුවට, අදාළ පුරුෂයා නීතිය ඉදිරියේ කාන්තා දූෂකයෙකු ලෙස සලකනු ලැබේ.

එමෙන්ම, කාන්තාවකට සිය ස්වාමිපුරුෂයා අනාචාරයේ හැසිරුණා යැයි පැමිණිල්ලක් ඉදිරිපත් කළ නොහැකිය.

අනාචාරයේ හැසිරීමේ වරදට පුරුෂයෙකුට අවම වසර පහක සිර දඬුවමක් හෝ දඩ මුදලක් හෝ එම දඬුවම් දෙකටම යටත් වීමට සිදුවේ.

අධිකරණයේ විභාග කළ නඩු පිළිබඳ තොරතුරු පැහැදිලි නැතත්, පෙත්සම්කරුගේ නීතීඥ කලීස්වරම් රාජ් පැවසුවේ දික්කසාද නඩු, සිවිල් සහ නඩත්තු නඩුවලදී අනාචාරයේ හැසිරීම සම්බන්ධයෙන් පවතින නීතිය “අවභාවිත” කරන බවය.

“පුරුෂයන් සිය බිරින්දෑවරුන් සම්බන්ධතා පවත්වනවා යැයි සැක කරන සහ එසේ සිතා සිටින අයට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කරනවා බොහෝ විට දැකිය හැකියි. මේ දේවල් කවදාවත් ඔප්පු කරන්න බැහැ. හැබැයි ඒ දෙයින් තමන් අතහැර ගිය හෝ දික්කසාද වුණ සහකාරියගේ ආත්මගරුත්වයට හානි වෙනවා,” කලීස්වරම් රාජ් බීබීසී වෙත පැවසීය.

මෙහි විශේෂත්වය වන්නේ, ඉන්දියානු ජනකතා සහ වීරකතා බොහොමයක් ගොඩනැගී ඇත්තේ සම්මතයෙන් ඔබ්බට ගිය ප්‍රේම කතා වටා වීමය. ශාස්ත්‍රඥයෙකු වන ජේ මුසයේෆ් මැසන්ට (J Moussaief Masson) අනුව බොහෝ සංස්කෘතික කාව්‍ය නිර්මාණවලට පාදක වී ඇත්තේ ද අසම්මත ප්‍රේමයයි.

නමුත්, යේසුස් ක්‍රිස්තුස් වහන්සේ බිහි වීමට වසර 1000කට පමණ පෙර ලියූ, හින්දු නීතිය තුළ වැදගත්ම කෘතිය ලෙස සැලකෙන Manusmriti නම් කෘතියේ සඳහන් වන්නේ, “යම් පුද්ගලයෙකු වෙනත් පුරුෂයන්ගේ බිරින්දෑවරුන් සමග අනවශ්‍ය සම්බන්ධතාවක් පැවැත්වීමට උත්සාහ කරන්නේ නම්, රජතුමා එම අදාළ පුද්ගලයා බියට පත්වන ආකාරයේ දඬුවම් නියම කළ යුතුයි. නැත්නම් පිටුවහල් කළ යුතුයි,” යනුවෙනි.

නිව්යෝක් ඇතුළු අමෙරිකානු ප්‍රාන්ත 21ක මෙය නීතියට පටහැණි ක්‍රියාවක් ලෙස හඳුන්වයි. කෙසේනමුත්, බොහෝ ඇමෙරිකානුවෝ අනාචාරයේ හැසිරීමට විරුද්ධ වුවත්, එය අපරාධයක් ලෙස නොසලකති.

ඉස්ලාමීය නීතිය යටතේ අනාචාරයේ හැසිරීම තහනම් වන අතර, ඉරානය, සෞදි අරාබිය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, බංගලාදේශය සහ සෝමාලියාව තුළ මෙය සාපරාධී ක්‍රියාවක් ලෙස සැලකේ.

තායිවාන නීතියට අනුව අනාචාරයේ හැසිරීමේ වරදට උපරිම වසරක සිර දඬුවමකට යටත් කළ හැකිය. ඉන්දුනීසියානු නීති පද්ධතිය තුළ ද සමාන තත්වයක් දක්නට ලැබේ. නමුත්, විවාහයෙන් පිට වෙනත් පුද්ගලයෙකු සමඟ සිය කැමැත්ත ඇතුව ලිංගික සම්බන්ධතාවක් පැවැත්වීමට අදාලව නීති පැනවීමට ද ඉන්දුනීසියානු බලධාරීහු කෙටුම්පත් සකසමින් සිටිති.

අනාචාරයේ හැසිරීම සම්බන්ධයෙන් පුද්ගලයෙකු වසර දෙකකට හෝ ඊට අඩු කාලයකට සිරගත කළ හැකිව තිබූ දකුණු කොරියානු නීතිය එරට ශ්‍රේෂ්ඨාධිකරණය 2015 වසරේ දී නිකුත් කළ තීන්දුවකින් ඉවත් කරනු ලැබීය. එම නීතිය පුද්ගලයෙකුගේ ආත්මාභිමානයට සහ පෞද්ගලිකත්වයට හානි කරන බව එම තීන්දුවේ සඳහන් විය.

ලොව පුරා රටවල් 60කට අධික ගණනක් අනාචාරයේ හැසිරීම අපරාධයක් ලෙස හැඳින්වෙන නීති ඉවත් කිරීමට කටයුතු කර ඇති බව නීතීඥ කලීස්වරම් රාජ් පැවසුවේය.
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive