Friday 16 November 2018

එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සංචාරය: විමල් වීරවංශගේ නඩුව විභාගයට


2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී මහා මාර්ග අවහිර කරමින් මහජන පීඩාවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකුට එරෙහිව පොලිසිය විසින් ගොනු කරනු ලැබ ඇති චෝදනා පත්‍රය විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සිකුරාදා නියම කළේය.
එම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී පොලීසිය ඉදිරිපත් කළ චෝදනා පත්‍රය විභාගයට ගැනීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය සාක්ෂිකරුවන් මීළඟ දින අධිකරණය හමුවට කැඳවීමට පියවර ගන්නා ලෙස දන්වා සිතාසි නිකුත් කිරීමට නියෝග කළාය.
ඒ අනුව නඩු විභාගය පෙබරවාරි මස 11 වන දා පැවැත්වීමට මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
කුරුඳුවත්ත පොලිසිය මගින් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රයේ සඳහන් කර තිබෙන්නේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ හිටපු මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කොට මහජන පීඩාවක් විත්තිකරුවන් විසින් සිදුකරනු ලැබ ඇති බවය.
ඒ තුළින් ඔවුන් අපරාධමය වරදක් සිදුකර ඇති බව ද පොලිසිය ඉදිරිපත් කළ චෝදනා පත්‍රයේ සඳහන් වේ.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස වීරකුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක සහ ජාතික නිදහස් පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න ද නම් කර තිබේ.



Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive