Wednesday 14 November 2018

දින 49ක් මුහුදේ පාවෙන මාළු මඩුවක අතරමං වී සිටි ඉන්දුනීසියානු තරුණයා


මාළු ඇල්ලීම සඳහා යොදා ගන්නා ජලයේ පාවෙන මඩුවක රැකියාව කළ ඉන්දුනීසියානු තරුණයෙකු මුහුදේ අතරමංව දින 49ක් ගත කර ඇති අතර, මඩුවේ ලෑලි භාවිත කර අල්ලාගත් මාළු පිස ආහාරයට ගෙන තිබේ.

ඉන්දුනීසියාවට තද සුළං බලපෑ පසුගිය ජූලි මස 'අල්දී නොවෙල් අදිලැන්ග්' (Aldi Novel Adilang) නමැති 18 වියැති තරුණයා වෙරළෙන් කිලෝමීටර 125ක් දුරින් මුහුදේ පිහිටි මාළු මඩුවක් තුළ රැඳී සිට ඇත.

සුළඟට හසුවී ඔහු සිටි මඩුව කිලෝමීටර දහස් ගණනක් ඈත සාගරයේ පාවී ගොස් දින ගණනාවකට පසුව ගුආම් (Guam) දිවයින ආසන්නයේ සිටියදී පැනමාවට අයත් බෝට්ටුවකින් මුදවා ගෙන තිබේ.

ඉන්දුනීසියාවේ සුලාවේසි දූපතේ ජීවත් වූ මෙම 18 වියැති තරුණයා, එන්ජිමක් හෝ හබලක් සවි කර නොමැති පාවෙන මාළු මඩුවක රැකියාවේ නිරත වී තිබේ. එම මඩුව හැඳින්වෙන්නේ "රොම්පොන්ග්" ලෙසිනි.

මාළු ආකර්ෂණය කර ගැනීම සඳහා රොම්පොන්ග්හි සවි කර ඇති ලාම්පු පත්තු කිරීම මෙම තරුණයාගේ රැකියාව වූ බව 'ජකර්තා පෝස්ට්' පුවත්පත වාර්තා කර තිබිණි.

මාළු ඇල්ලීමට ඇති මෙම උගුල පාවෙන මඩුවක් ආකාරයෙන් නිර්මාණය කෙරන අතර, එය කඹ මාර්ගයෙන් මුහුදු පතුලට සවි කරනු ලබයි.

උගුලට හසුවන මාළු රැගෙන යෑමට සෑම සතියකට වරක් අල්දී රැකියාව කළ ආයතනයේ පුද්ගලයෙක් පැමිණෙන විට ඔහුට අවශ්‍ය ආහාර, වතුර සහ ඉන්ධන ලබා දීමට ද කටයුතු කර තිබිණි.

'ඔහු නිතර හඬමින් ඉඳලා'
අල්දී සිටි පාවෙන මඩුව ජූලි 14 වෙනි දින හැමූ තද සුළඟට හසුවී ඈත දියඹට ගසා ගෙන ගොස් තිබේ.

ඒ වන විට ඔහු ළඟ ඉතිරි වී තිබී ඇත්තේ ඉතා කුඩා ආහාර පාන ප්‍රමාණයකි.

පසුව ඔහු ආහාරයට ගැනීම සඳහා මාළු අල්ලාගෙන ඇති අතර, රොම්පොන්ග්හි වැට තනා තිබූ ලෑලි ගිනි තබා මාළු පිසගෙන ඇත.

කෙසේ වුවත් ඔහු පානීය ජලය සොයාගත් ආකාරය පැහැදිලි නැත.

"ඔහු මඩුව මත පාවෙමින් සිටින විට ඉතා බියෙන් සහ නිතරම හඬමින් සිටිය බව පැවසුවා," යැයි ජපානයේ සිටින ඉන්දුනීසියානු රාජතාන්ත්‍රිකයෙකු වන ෆජාර් ෆිර්දවුස් ජකර්තා පෝස්ට් පුවත්පත වෙත පැවසීය.

"ලොකු නැවක් දැක්ක සෑම අවස්ථාවකම ඔහුට බලාපොරොත්තු ඇති වී තිබෙනවා. නැව් 10කට වඩා ඔහු පසුකර යාත්‍රා කර තිබෙනවා. නමුත් ඒ කිසිවක් නතර කර නැහැ, නැත්නම් ඔහුව දැකලා නැහැ."

සිය පුතා අතුරුදහන්ව ඇති බව දැනගත් ආකාරය පිළිබඳ අල්දීගේ මව AFP පුවත් සේවයට විස්තර කර තිබිණි.

"පුතා අතුරුදහන් වෙලා කියලා වැඩකරන තැන ප්‍රධානියා මගේ ස්වාමිපුරුෂයාට දැන්වූවා. දෙවියන්ගේ කැමැත්තට ඉඩ දීලා අපි දිගටම යාඥා කළා," යැයි නෙත් කහිකින්ග් (Net Kahiking) පැවසීය.

අගෝස්තු 31 වෙනි දින බෝට්ටුවක් දුටු අල්දී රේඩියෝ සංඥාවක් නිකුත් කිරීමට කටයුතු කර තිබිණි. පැනමාවට අයත් එම බෝට්ටුවේ සිටි පිරිස ගුආම් දිවයින ආසන්නයේ සිටි ඔහු මුදවාගෙන තිබේ.

බෝට්ටුවේ කපිතාන්වරයා මෙම සිදුවීම ගැන ගුආම් වෙරළාරක්ෂක මධ්‍යස්ථානයට දැනුම් දී ඇති අතර, අල්දී බෝට්ටුවේ ගමනාන්තය වන ජපානයට රැගෙන යන ලෙසට ඔවුන් උපදෙස් ලබා දුන් බව ජපානයේ සිටින ඉන්දුනීසියානු තානාපතිවරයාගේ ෆේස්බුක් ගිණුමේ සඳහන් විය.

සැප්තැම්බර් 6 වෙනිදා ජපානයට පැමිණි අල්දී දින දෙකකට පසු නැවතත් ඉන්දුනීසියාව බලා ගොස් සිය පවුලේ සාමාජිකයන් සමග එකතු විය. ඔහු යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව වාර්තා වේ.

"දැන් ඔහු නැවතත් ගෙදර ඇවිත් ඉන්නේ. සැප්තැම්බර් 30 වෙනිදාට අපි ඔහුගේ 19 වෙනි උපන්දිනය සමරනවා" යැයි මව පැවසුවාය.


Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive