Wednesday 14 November 2018

ඔස්ට්‍රේලියාව: බිරිඳට මැරෙන්න උපදෙස් දී රක්ෂණ මුදල් ගත් සැමියෙකු වසර 10 ක් හිරේ


සිය බිරිඳට සිය දිවි හානි කර ගැනීම සඳහා පෙළඹවූ සැමියෙකුට ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 10 සිර දඬුවම් නියම කර තිබේ. එම තීන්දුව ලෝකයට පූර්වාදර්ශයක් වනු ඇතැයි විශ්වාස කෙරේ.

68 හැවිරිදි ග්‍රැහැම් මෝරාන්ට් 2014 වසරේදී සිය දිවි හානි කර ගැනීම සඳහා සිය බිරිඳ වූ ජෙනිෆර් මෝරාන්ට් උපදෙස් දී ඇති බවට අධිකරණය හමුවේ වැරදිකරු විය.

නඩුව විභාග කිරීමෙන් අනතුරුව විනිසුරුවරයා නිගමනය කර ඇත්තේ, බිරිඳට ජීවිත රක්ෂණයකින් අයත් වීමට තිබූ ප්‍රතිලාභය ලබා ගැනීමේ අරමුණින් ඔහු මෙය කර ඇති බවටය.

බිරිඳගේ මරණය හේතුවෙන් ග්‍රැහැම් මෝරාන්ට්ට හිමිව ඇති ප්‍රතිලාභ මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 1.4 කි.

"ඩොලර් මිලියන 1.4 තමන්ගේ අතට ගන්න ඕන වුණ නිසා ඔබ බිරිඳට මැරෙන්න උපදේශන දුන්නා," ක්වීන්ස්ලන්ඩ්හි ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු පීටර් ඩේවිස් පැවසීය.

ජෙනිෆර් මෝරාන්ට් දීර්ඝ කාලීන රෝගයකින් සහ අවපීඩනයෙන් පෙළුණ ද අසාධ්‍ය තත්ත්වයක පසු වී නොමැත.

විනිසුරු පීටර් ඩේවිස් පැවසුවේ, යමෙකුට සිය දිවි හානි කර ගැනීම සඳහා උපදේශන සැපයූවෙකුට අධිකරණයකින් දඬුවම් නියම වූ පළමු අවස්ථාව මෙය විය හැකි බවය.

එම චෝදනාවලට තමන් වැරදිකරු නොවන බව මෝරාන්ට් පවසා තිබේ.

එහෙත්, නඩුව විභාග කළ ජූරි සභාවේ නිගමනය වී ඇත්තේ, ඔහුගේ උපදේශනයෙන් තොරව ඇය සිය දිවි හානි කර ගැනීමක් නොකරන බවය.

2014 වසරේ නොවැම්බර් මස 30 වන දා 56 හැවිරිදි ජෙනිෆර් ඇයගේ මෝටර් රථය තුළ මිය ගොස් සිටි අතර මෝටර් රථය තුළ විදුලි ජනක යන්ත්‍රයක් ද තිබී ඇත.

මළ සිරුර අසල "මව යළි පණ ගන්වන්න එපා," යනුවෙන් සටහනක් ද තබා තිබිණි.

ජූරි සභාව පැවසුවේ, ඊට පෙර ඇයගේ සැමියා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලකට ඇය රැගෙන ගොස් විදුලි ජනක යන්ත්‍රයක් මිල දී ගෙන ඇති බවය.

ක්‍රිස්තියානි ආගමිකයෙකු වූ මෝරාන්ට් රක්ෂණ ප්‍රතිලාභ මුදල ආගමික සේවය සඳහා යොදවන බව ඇගේ බිරිඳට පවසා තිබුණු බව නීතිඥවරුන් පවසා තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයා පැවසුවේ, තමන් කළ වරද පිළිබඳව මෝරාන්ට් පසුතැවීමක් පෙන්නුම් කර නොමැති බවය.

"මානසික අවපීඩනයෙන් පෙළෙමින් රෝගීව සිටි ඇයගේ අවදානම් තත්ත්වයෙන් ඔබ වාසියක් ගත්තා," විනිසුරු පැවසීය.

නඩු විභාගයෙන් අනතුරුව සිය දිවි නසා ගැනීම සඳහා උපදේශන සැපයීම වෙනුවෙන් වසර 10 ක සහ සිය දිවි නසා ගැනීමට සහය වීම වෙනුවෙන් වසර 6 ක සිර දඬුවම් නියම කෙරිණි. එම දඬුවම් එකවර ගෙවී යන පරිදි නියෝග කර තිබේ.

කෙසේ වෙතත්, 2023 වසරේදී සමාවක් ලැබීම සඳහා ඔහු සුදුසුකම් ලබයි.
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive