Wednesday 14 November 2018

චීනය: කතකගේ කෝපය නිසා යැංසේ ගඟට වැටුණු බස් රථය


චීනයේ පාලමක් මතින් ධාවනය වෙද්දී ගඟකට වැටුණු බස් රථයේ රියැදුරා, බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ තවත් පුද්ගලයෙකු සමග ගුටිබැට හුවමාරුවක නිරත වන අයුරු ආරක්ෂක කැමරා දර්ශනවල පටිගත වී තිබේ.

පසුගිය දා චීනයේ චොංකිං ප්‍රදේශයේදී මීටර් 50 ක් උස පාලමකින් යැංසේ නදියට පෙරළීමෙන් අදාළ බස් රථයේ සිටි මගීන්ගෙන් අවම වශයෙන් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූ අතර තවත් දෙදෙනෙක් අතුරුදන් වූහ.

මෙම දර්ශන විශ්ලේෂණය කිරීමට පෙර සැක කරනු ලැබුවේ, ඉදිරියෙන් පැමිණි වාහනවලට ඉඩ දීමට ගොස් බස් රථය පාලනය කරගත නොහැකිව ගඟට වැටී ඇති බවය.

එහෙත්, මෙම කැමරා දර්ශනවලින් පෙනී යන්නේ, රියැදුරාට මගියෙකු විසින් පහර දෙනු ලබන බවය.

බස් රථය, වේගයෙන් ධාවනය වෙමින් පැමිණ විරුද්ධ මං තීරුවට මාරු වී ආරක්ෂක වැට ද බිඳගෙන ගඟට වැටෙන තෙක් දර්ශන එම වීඩියෝ පටයෙහි අන්තර්ගත වී තිබේ.

චීනයේ People's Daily පුවත්පත වාර්තා කළේ, බස් රථ අනතුරට හේතු වී ඇත්තේ අදාළ ගැටුම බවට පොලීසිය තහවුරු කරන බවය.


එම අවස්ථාවේ බස් රථයේ සිටි මගීන් කෑගසන ආකාරය ද එහි සටහන් වී තිබේ.

රියැදුරා පහර දී ඇත්තේ, 48 හැවිරිදි ලියු නමැති කාන්තාවක බවට හඳුනාගෙන ඇති අතර, ඇය බස් රථයෙන් බැසිය යුතු ස්ථානය පසුකර යාම හේතුවෙන් ඇය කෝපයට පත්ව එම පහර දීම කර ඇති බව පොලිසිය පවසයි.
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive