Thursday 15 November 2018

ශ්‍රී ලංකාවේ දේශපාලන අර්බුදය: "නව විශ්වාස භංගයක් ඉදිරිපත් කර සම්මත කරගන්න" - ජනාධිපති

තමන් ව්‍යවස්ථාව කඩවන අන්දමේ කටයුත්තක් නොකරන බවත්, ඒ අනුව නැවත පාර්ලිමේන්තුව කල් දැමීමට අපේක්ෂා නොකරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බ්‍රහස්පතින්දා (නොවැම්බර් 15) සවස පක්ෂ නායකයන් සමග පැවති හමුවේදී ප්‍රකාශ කළ බව රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා බීබීසී සිංහල සේවයට පැවසීය. බදාදා ඉදිරිපත් කළ විශ්වාස භංගයේ පළමු කරුණ තමන්ට එරෙහිව ඉදිරිපත් වූවක් බැවින් සහ පිළිගත නොහැකි කරුණක් බැවින් අලුත් විශ්වාස භංග යෝජනාවක් ගෙන එන ලෙස ජනාධිපතිවරයා මෙම හමුවීමේදී පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

නැවත විශ්වාස භංගයක් ඉදිරිපත් කර සම්මත කරගන්නේ නම් එය පිළිගැනීමට තමන් සූදානම් බව ජනාධිපතිවරයා සඳහන් කළ බවත් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා පැවසීය. එබැවින් සිකුරාදා (නොවැම්බර් 16) නැවත වතාවක් විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ද ඔහු පැවසීය.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ශ‍්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරූ ජයසූරිය සහ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ හා දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවූ බව නිවේදනය කරයි.

පැය දෙකක පමණ කාලයක් පුරා පැවති මෙම සාකච්ඡාවේ දී, පාර්ලිමේන්තුවේ බහුතරය තමන් සතු වන බව පිළිගන්නා ලෙස ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව පාර්ලිමේන්තු සම්ප‍්‍රදාය ගරු කරමින් තම බහුතරය නියමානුකූලව පෙන්වා සිටින ලෙස ද, ඡන්ද විමසීම මන්තී‍්‍රවරුන්ගේ නමින් සිදු කරන ලෙස ද ජනාධිපතිවරයා ඉල්ලා සිටි බව ජනාධිපති මාධ්‍ය ඒකක නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එසේම පාර්ලිමේන්තුව තුළ සාමය තහවුරු කරමින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ස්ථාවර නියෝගවලට අනුව කටයුතු කරන ලෙස ගරු ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා තිබේ.

සාකච්ඡාව ආරම්භවීමට පෙරාතුව ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් දෙමළ ජනතා සන්ධානයේ මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණේ, තමන්ට පක්ෂපාතීත්වය පළකරන මන්ත්‍රීවරුන් 122 දෙනාම සමග සාකච්ඡාව සඳහා පැමිණීමට සූදානම් යයි කතානායක කරු ජයසූරිය යෝජනා කළ නමුත් පක්ෂ නායකයන් පමණක් පැමිණෙන මෙන් ජනාධිපතිවරයා ඉල්ලීමක් කළ බවය.
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive