Wednesday 14 November 2018

"උතුරු කොරියාව තුළ ලිංගික අතවර සාමාන්‍ය දෙයක්" - හියුමන් රයිට්ස් වොච්


උතුරු කොරියානු නිලධාරීන් එරට කාන්තාවන්ට ලිංගික අතවර කිරීම සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව ඇති අතර, ඒ සඳහා ඔවුන් කිසිදු දඬුවමකට ලක් නොවන බව Human Rights Watch(HRW) සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වේ.

එම ආයතනය පවසන්නේ, ලිංගික අතවර සාමාන්‍ය ජන ජීවිතයේ කොටසක් බවට පත්ව ඇති තරමට එය අතිශය සාමාන්‍ය කාරණයක් බවට පත්ව ඇති බවය. උතුරු කොරියාවෙන් පළා ගිය එරට වැසියන් 62 දෙනෙකු සමග සාකච්ඡා කර ඇති එම ආයතනය, ස්ත්‍රී දූෂණ හා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් ඔවුන් හෙළි කළ අදහස් පදනම් කරගෙන එම වාර්තාව සකස් කර තිබේ.

වාර්තාව සකස් කළ කණ්ඩායම පවසන්නේ, සිය අධ්‍යයනය තුළින් එරට තුළ නොසඟවා ලිංගික අතවර සිදු කෙරෙන සංස්කෘතියක් පවතින බව අනාවරණය වී ඇති බවය. විශේෂයෙන් නිලයෙන් සහ බලයෙන් ඉහළ නිලධාරීන් එම ක්‍රියාවල නිරත වන බව තහවුරු වී තිබේ.

"ඒ අය අපට සලකන්නේ (ලිංගික) සෙල්ලම් බඩු විදියට. අපි පිරිමින්ට යටත් වෙලා ඉන්න ඕන," උතුරු කොරියාවේ ව්‍යාපාරිකාවක ලෙස කටයුතු කළ 40 හැවිරිදි ඕ ජුං-හී සමීක්ෂකයින්ට පවසා ඇත. උතුරු කොරියාව වැනි රටක් සම්බන්ධයෙන් මෙවැනි වාර්තා සැකසීම දුර්ලභ වන අතර එරටින් මෙවැනි සිද්ධි පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීම ද අතිශය දුෂ්කර කටයුත්තකි.

"මගේ ජීවිතය තිබුණේ ඔහුගේ අතේ"

Human Rights Watch සංවිධානය පවසන පරිදි ලිංගික අතවර එරට සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති අතර ඇතැම් කාන්තාවෝ එය "අසාමාන්‍ය" දෙයක් ලෙස නොසලකති. ඇතැම් කාන්තාවන් පවසා ඇති පරිදි ඔවුන්ට එය දෛනික ජීවිතයේ කොටසක් බවට පත්ව තිබේ.

ලිංගික අධ්‍යාපනයක් නොමැති වීම සහ ඉහළ නිලධාරීන් බලය අයුතු ලෙස භාවිත කිරීම් සම්බන්ධයෙන් සොයා නොබැලීම යන කරුණු නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි අදාළ වාර්තාවේ සඳහන් වේ.එවැනි අපරාධ සිදුකරන්නන් අතර දේශපාලන පක්ෂවල ඉහළ නිලධාරීන්, බන්ධනාගාර ඉහළ නිලධාරීන්, පොලිස් සහ හමුදා නිලධාරීන් වන බව හෙළි වී තිබේ.


මානව හිමිකම් සංවිධානය සමග අදහස් දැක්වූවන් පැවසුවේ, යම් කාන්තාවක පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවහොත් ඇයට බොහෝ විට ඔවුන්ගේ ඉල්ලීම්වලට අවනත වීමට සිදුවන බවය. උතුරු කොරියාවෙන් පළා යාමට උත්සහ දැරූ බවට පොලිස් ප්‍රශ්න කිරීම්වලට ලක්වූ කාන්තාවකට එවැනි සිද්ධියකට මුහුණ පෑමට සිදු වී තිබේ

"ඔහු මාව ළඟින් ම වාඩි කරගෙන හිටියා. මගේ පාද දෙක අතර ස්පර්ශ කළා. මෙවැනි දේවල් අවස්ථා කිහිපයකදී ම කළා" පාර්ක් යං-හී පැවසුවාය.

"මගේ ජීවිතය තිබුණෙ ඔහුගේ අතේ, ඉතිං මං ඔහුට අවශ්‍ය සියල්ල කළා. මං වෙන මොනව කරන්න ද?"

Human Rights Watch ආයතනය උතුරු කොරියාවෙන් ඉල්ලා සිටින්නේ, රට තුළ පවතින ලිංගික ප්‍රචණ්ඩත්වය වටහාගෙන එය "අපරාධයක් ලෙසින් සලකන" ලෙසය. මේ අතර, 2014දී එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක දැක්වුණේ, උතුරු කොරියානු රජය "ක්‍රමානුකූලව වර්ධනය වන මානව හිමිකම් උල්ලංඝණය කිරීම්වලට දායක වන බවය.

එහි වැඩිදුරටත් සඳහන් වූයේ, බන්ධනාගාර තුළදී සහ අත්අඩංගුවේදී බලහත්කාරයෙන් කරන ගබ්සා, ස්ත්‍රී දූෂණ සහ ලිංගික ප්‍රචණ්ඩත්වය උතුරු කොරියාවේ පවතින බවය
Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive