Wednesday 14 November 2018

අගමැතිකම මට ලොකු නැහැ – මහින්ද රාජපක්ෂ



අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා  අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.


මෙහිදී පාර්ලිමේන්තුව අමතමින් අග්‍රාමාත්‍යවරයා පැවසුවේ, පැවති ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් තමාට අගමැති ධූරය භාර ගන්නා ලෙස ඇරයුම් කළ බව ය. අග්‍රාමාත්‍යවරයා සිය ප්‍රකාශයේදී අවධාරණය කළේ, පසුගිය ආණ්ඩුව මැතිවරණ කල් දමමින් නිසි වේලාවට මැතිවරණ පැවැත්වීමට අසමත් වූ බව ය.

එමෙන්ම අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහත වැටීම, මහ බැංකු බැඳුම්කර මගඩිය ආදී සිදු වීම් නිසා එන්න එන්නම රටේ ආර්ථිකය කඩා වැටුණු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ ය.
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඊයේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගනු ලැබූ විශ්වාසභංග යෝජනාව පිළිබඳව අදහස් දැක්වූ මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ, ශබ්දයෙන් විශ්වාසභංග යෝජනා සම්මත කර ගත නොහැකි බව ය.

පාර්ලිමේන්තුව තුළ තිබෙන මෙම අර්බුදය විසඳ ගැනීමට ජනතාවට අවස්ථාව ලබා දෙමින් මහ මැතිවරණයකට යාම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු දේශපාලන පක්ෂවලට මෙහිදී ආරාධනා කළේ ය.

අගමැතිකම් ජනාධිපතිකම් තමා කර ඇති බවත් අගමැතිකම ලොකු නැහැ යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කළේ ය. සිය විශේෂ ප්‍රකාශය අවසන් කරමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, පක්ෂය සහ බටහිර යාළුවන් වෙනුවෙන් කථානායකවරයා පෙනී සිටීම ගැන කණගාටු වන බව ය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ ප්‍රකාශයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැගිට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය විශ්වාසයක් නැති බවට යෝජනාවක් ගෙන ආ අතර එය සම්මත කර ගැනීමට කථානායකවරයා ඡන්දයක් කැඳවීමට යාමේදී පාර්ලිමේන්තුව තුළ කළහකාරී තත්ත්වයක් ඇති විය. 

Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive