Wednesday 14 November 2018

MeToo හරහා ඉන්දියාව කැළඹූ බොලිවුඩ් නිළි ටනුශ්‍රී දත්තාගේ කතාව




"ඒ සිද්ධියෙන් ඇති වූ කම්පනයෙන් අවුරුදු ගණනක් මම පීඩා වින්දා. මම සිනමාවෙන් ඉවත් වෙන්න තීරණය කළෙත් ඒ කම්පනය නිසයි."

ඉන්දියාව තුළ #MeToo ව්‍යාපාරය නමැති සුළි කුණාටුව ඇති කිරීමට මුල් වූ හිටපු බොලිවුඩ් නිළි ටනුශ්‍රී දත්තා (Tanushree Dutta) මේ අදහස් පළ කළේ, බීබීසී පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

)#MeToo: ලිංගික හිංසනයට එරෙහි විරෝධතා ව්‍යාපාරය(

"ඔහු මගේ ප්‍රියතම අධ්‍යක්ෂවරයා, ඒ වගේ ම මගේ වීරයා. ඔහු සිනමාවේ දැවැන්තයෙක්. ප්‍රසිද්ධ කවියෙක්. මම මුලින් හිතුවෙ ඔහු මාව අනවශ්‍ය විදියට ස්පර්ශ කළේ වැරදීමකින් කියලා. ඒත් ඔහු මගේ ළඟට ඇවිත් මාව වැළඳ ගත්තා, මාව සිප ගත්තා. ඒ වගේ ම මගේ හැඟීම් අවුස්සන්න උත්සහ කළා."


ටනුශ්‍රී දත්තා තමන්ට සිදුවූ ලිංගික අතවරය පිළිබඳව අදහස් පළ කිරීමත් සමග කාන්තාවන් විශාල සංඛ්‍යාවක් තමන්ට සිදුවූ අතවර සම්බන්ධයෙන් හඬ නැගීමට පටන් ගෙන තිබේ.
ටනුශ්‍රී දත්තා තමන්ට මුහුණ දුන් අත්දැකීම විස්තර කළේ මෙසේ ය.

"මම ඒ වෙලාවෙ බොලිවුඩ් ගීතයක් වෙනුවෙන් කළ රූගත කිරීමකයි හිටියෙ. ඒක වුණේ, මීට අවුරුදු 10කට කලින්. ඒ දර්ශන තලය ඇතුළෙ මම අතවරයට ලක් වුණා. ඒ අමිහිරි අත්දැකීමත් එක්ක මම අවුරුදු 10 ක් ජීවත් වුණා. මම අවුරුදු දහයකට පසුවයි ඒ ගැන කතා කළේ. ඒ සමස්ත සිද්ධිය කතාන්දරයක් වගේ මතු වුණා. ඒ වගේ ම කතාන්දරයක් වගේ නැති වෙලා ගියා. ඒ සම්බන්ධයෙන් කිසි ම දෙයක් එළියට ආවෙ නෑ. දැන් අපි මේ කතා කරන්නෙ, අවුරුදු දහයකට පස්සෙ."



කෙසේ වෙතත්, ටනුශ්‍රී දත්තාගේ චෝදනාවට ලක්ව සිටින බොලිවුඩ් නළු නානා පටේකාර් මෙම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

ඔහු පවසන්නේ, අදාළ දර්ශන තලය තුළ විශාල පිරිසක් රැඳී සිටි බව ය. ඒ අනුව, මේ සම්බන්ධයෙන් නීතියේ පිහිට පතන බව නානා පටේකාර් පවසයි. ටනුශ්‍රී දත්තා පවසන පරිදි ඇයට සිනමාවෙන් ඉවත් වීමට බලපා ඇත්තේ, එම සිද්ධියයි.

"මම සිනමාවට ආදරය කළා. මම නර්තනයට ආදරය කළා. මම චිත්‍රපටවලට ආදරය කළා. ඒ වගේ ම රංගනයට ආදරය කළා. ඒ සියල්ල මට අහිමි වුණා."

"මේ සිද්ධියෙන් පස්සෙ මට චිත්‍රපට 30කට පමණ ආරාධනා ලැබුණා. අර සිද්ධිය මගේ හිතේ තිබුණ නිසා මට චිත්‍රපටයකට ඇරයුම් ලැබුණු හැම අවස්ථාවකදී ම මට දහදිය දාන්න පටන් ගත්තා. මානසික කැළඹීමකට පත් වෙලා මගේ හෘද ස්පන්ධනය වැඩි වුණා. ඒ තත්ත්වයත් සමග මම මොනව හරි හේතුවක් ඉදිරිපත් කරල චිත්‍රපටය ප්‍රතික්ෂේප කළා," ඇය බීබීසී සේවයට පැවසුවාය.
මෙවැනි අතවර සිද්ධීන් පිළිබඳ තවත් බොලිවුඩ් නිළියන් ඉදිරියට පැමිණ කරුණු හෙළි කරනු ඇතැයි ටනුශ්‍රී විශ්වාස කරයි.

"මම බලාගෙන ඉන්නව තවත් මෙවැනි අත්දැකීම් ගැන බොලිවුඩ් නිළියන් කරුණු හෙළි කරයි කියලා. අවුරුදු ගණනක් පුරා අපිට ඇහිල තියෙනව, අදහගන්න බැරි දුක්ඛිත සිදුවීම් ගැන. ඒ කාන්තාවන්, තරුණියන් දැන් ඉදිරියට පැමිණිය යුතුයි."

Share:

0 comments:

Post a Comment

Followers

Blog Archive